IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

Post by Unknown | at 5:38 PM | 0 Comments | Categories
Shame (2011) රාගයම ජීවිතය නොවේ (18+) [with Sinhala Subtitles]
    
    මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව තවත් කරුණු ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවේ.

    IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබේ. මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන්ට පණපොවන්නේ සුපිරි හොලිවුඩ් සම්මානලාභී නළු Michael Fassbender විසිනි. ඔහු Prometheus (2012), X-Men: First Class (2011) යන චිත්‍රපටවලදීද ප්‍රධාන චරිතවලට පණපෙවීය. එමෙන්ම 12 Years a Slave චිත්‍රපටයේ රංගනය නිසා 2013 ඔස්කාර් සම්මාන උ‍ළෙලේ හොදම සහය නළුවාට හිමි සම්මානයටද නිර්දේශ විය. බ්‍රැන්ඩන්ගේ චරිතය වටා ගෙතෙන මෙම චිත්‍රපටය තුළ ඔහුගේ රංගනය ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදුවන බව පෙන්වාදිය හැකිය.

    මෙම චිත්‍රපටය ගලායන්නේ සරල කතා තේමාවක් ලෙසිනි. එනම් මෙහි ප්‍රධාන චරිතය වන බ්‍රැන්ඩන් අධික ලෙස කාමබෝගී දිවියකට හුරුවූ රාගාධික පුද්ගලයෙකි. ඔහු කෙතරම් රාගයෙන් අධික වුවත් එය පාලනය කර ගැනීමේ හැකියාව ඔහුට පවතී. ඔහු විවිධ කාන්තාවන් සමග ලිංගික ඇසුරු පවත්වයි. නමුත් එම කිසිදු ඇසුරකින් ඔහු තෘප්තියට පත්වන්නේ නැත. ඔහුට නෑදෑයෙකුට සිටින්නේ තම නැගණියවන සිසී පමණි. බ්‍රැන්ඩන්ගේ මෙම කාමබෝගී ජීවිතය නිසා තම නැගණියගේ කටයුතු පවා ඔහුට සොයාබැලීමට නොහැකි වේ. මෙයින් විශාල පීඩනයකට ලක්වන සිසීට අවසානයේ සිදුවන්නේ කුමක්ද? බ්‍රැන්ඩන්ගේ ස්ත්‍රීන්ට ලොල් වූ දිවිලෙවත අවසන් වෙයිද?

    මෙහිදී අවධාරණයෙන් යුතුව කියන්න ඕන අවුරුදු 18 ට වැඩි කට්ටිය විතරක් මේක බලනවනම් හොදයි කියලා. (18ට අඩු අය නොබලම ඉදියි නේද? :P) මොකද මේකෙ ලිංගික දර්ශන වගේම නිරුවත් දර්ශන බහුලව අඩංගු වෙන නිසා. ඒ වගේම මෙහි දෙබස්වල වැඩිවශයෙන් අසභ්‍ය වචන අන්තර්ගත වෙනවා. උපසිරසි යෙදීමේදී හැකි සෑම විටම සභ්‍ය ලෙස උපසිරසි යෙදීමට උත්සාහ ගත් අතර එසේ කළ නොහැකි අවස්ථා කිහිපයක්ද තිබුණු බව කරුණාවෙන් සලකන්න. (අපි නම් ඔව්වා දන්නෙ නෑ නේද? :D...:P) එහෙනම් චිත්‍රපටයට කැමතිනම් බාගෙනම බලන්න. ජයවේවා...!!!


                               650mb ටොරන්ට් එක මෙතනින් ගන්න



*****දුලාන් තනුශංක සිල්වා විසින් කළ උපසිරසි ගැන්වීමකි. පරිවර්ථක අයිතිය සුරකින්න.*****

Read More

ශ්‍රී ලංකාව චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලෝකයේ 45 වෙනි රාජ්‍ය බවට පත්වෙයි.

Post by Unknown | at 10:29 AM | 2 Comments | Categories


අද (නොවැ 27) කක්ෂගතවන ශ්‍රී ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව පිළිබද    තොරතුරු බිදක්.....


ලෝකයේ මුළින්ම පණිවිඩ චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවූ රට වන්නේ සෝවියට් රුසියාවයි. පසුව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව යන රටවල් පිළිවෙළින් චන්ද්‍රිකා කක්ෂගත කළේය. මේ අයුරින් 1957 ඔක්තෝබර් 4 ස්පුට්නික් කක්ෂගත කිරීමේ සිට අද දක්වා රටවල් 44 ක් චන්ද්‍රිකාවල හිමිකාරිත්වය ඇතිව ඒවා කක්ෂගත කර තිබේ. එම රටවල් අතරට අළුතින්ම එකතුවන රාජ්‍ය වන්නේ ශ්‍රී ලංකාවයි. සත්‍යවශයෙන්ම මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතව තිබුණේ නොවැම්බර් 22 වන දාය. එහෙත් එය නොවැම්බර් 27 වෙනිදා උඩුගුවනට යැවීමට තීරණය කෙරුණි.



චීනයේ චන්ද්‍රිකා සන්නිවේදන ආයතනයක්වන 'චයිනා සැටලයිට් කොමියුනිකේෂන් කෝපරේෂන්' හා තවත් සමාගමක් එක්ව ලංකාවේ 'සුප්‍රීම්සැට්' සමාගම එක්ව මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ගිවිසුම අත්සන් කරන ලදී. චීනයට අයත් රොකට්ටුවක් මගින් අභ්‍යවකාශගත කෙරෙන මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළ අහසේ කක්ෂගත කිරීමට නියමිතය. මෙම මෙහෙයුම සදහා ශ්‍රී ලංකාවෙන් ආයෝජනය කළ මුදල ඇ.ඩො. 3200 කි. මෙම චන්ද්‍රිකාවේ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සදහා පල්ලෙකැලේ ප්‍රදේශයේ අභ්‍යවකාශගාමී පුහුණු නිකේතනයක් ඉදිකිරීමට සියළු කටයුතු සූදානම්ව පවතී. 

මෙම චන්ද්‍රිකාවේ අයිතිය චීනය හා ශ්‍රී ලංකාව යන රටවල් දෙකටම හිමිවන අතර වැඩි අයිතිය ශ්‍රී ලංකාව සතුය. නමුත් පල්ලෙකැලේ බදිවන මෙරට පාලන මධ්‍යස්ථානයේ වැඩ අවසන්වන තුරු චීනය මගින් චන්ද්‍රිකාවේ පාලන කටයුතු සිදුකරගෙන යනු ඇත. එමෙන්ම මෙම චන්ද්‍රිකාවේ ශ්‍රී ලංකාව හා චීනය යන රටවල් දෙකෙහිම ජාතික කොඩ් ප්‍රදර්ශනය කරන බව බැවසේ. මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ චන්ද්‍රිකා අයිතිය හිමි තුන්වන රට බවට පත්වේ. එය ලෝකයේ 45වන ස්ථානයයි.


මෙම චන්ද්‍රිකාව 2013 ජනවාරි මාසයේ සිට දකුණු හා මධ්‍යම ආසියාව, නැගෙනහිර අප්‍රිකාව හා මැදපෙරදිග රටවලට සන්නිවේදන සේවා සැපයීමට මෙම චන්ද්‍රිකාව මගින් හැකියාව ලැබෙනු ඇත. ඒ තුළින් ඉදිරිකාලයේදී විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත. සුප්‍රීම්සැට් සමාගමේ මීළග බලාපොරොත්තුව වන්නේ 2015 දී ශ්‍රී ලංකාවට පූර්ණ අයිතියක් හිමි චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමයි. ඒ අනුව අනාගතයේදී ශ්‍රී ලංකාව සන්නිවේදන කෙෂ්ත්‍රයේ විශාල ප්‍රගතියක් චන්ද්‍රිකා තුළින් ළගා කරගනු ඇතැයි විශ්වාස කළ හැකිය.

- දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Read More

facebook නිසා මරුවා වැළදගත් 'අමන්දා ටොඩ්'

Post by Unknown | at 5:34 PM | 7 Comments | Categories

කැනේඩියානු ජාතික අමන්දා ටොඩ්ගේ මරණය සිදුවූ ආකාරය




මීට දින කිහිපයකට ඉහතදී 'මලාලා යුසෆ්සායි'ට සිදුවූ ප්‍රහාරය සම්බන්ධ අප ඉදිරිපත් කළ කතා පුවත ඔයගොල්ලො කියවන්න ඇති කියලා විශ්වාස කරනවා. මලලාට නම් ජීවත්වෙන්න වාසනාව තිබුණා. ඒත් අවාසනාවට 'අමන්දා ටොඩ්'  හට ඒ වාසනාව තිබුණේ නම් නැහැ. මලාලා වගේ අමන්දා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි තැනැත්තියක් නම් නෙමෙයි. (මලාලාගේ කතාව මෙතනින් කියවන්න) අමන්දා ටොඩ් කැනේඩියානු ජාතික 15 හැවිරිදි දැරියකි. ඇය ජීවිතය අළුතින් පටන් ගත්තා පමණි. ඇයට අකාලයේ සියදිවි නසා ගැනීමට තරම් වූ බරපතල හේතුසාධකය කුමක්ද? මෙයට බලපෑවේ ෆේස්බුක්ය.

අමන්දා ෆේස්බුක් පරිහරණය කරන තැනැත්තියක් බවට පත්වූයේ වයස අවුරුදු 12 දී පමණය. එහිදී ඇය විවිධ පුද්ගලයන් හදුනාගෙන ඔවුන් හා සංවාදයේ යෙදීමටද පෙළඹුණාය. එසේ සංවාදයේ යෙදුණු පුද්ගලයෙකු හා පෙමින් බැදුණු අමන්දා නිතර නිතර ඔහු සමග අන්තර්ජාලය හරහා කතාබස් කරන්නට පටන් ගත්තාය. මෙසේ සංවාදයේ යෙදී සිටින අතරතුර දිනක් අමන්දා හට පෙරකී පුද්ගලයාගෙන් වෙනස්වූ ඉල්ලීමක් ලැබුණි. ඒ වනවිට ඔවුන් සංවාදයේ නිරතවී සිටියේ වීඩියෝ චැට් ක්‍රමය මගිනි. එම පුද්ගලයාගේ ඉල්ලීම වූයේ අමන්දා හට එම අවස්ථාවේදී සිය උඩුකය නිරාවරණය කර පෙන්වන ලෙසයි. ජීවිතය පටන්ගත් පමණින් ඒගැන හරිහැටි අවබෝධයක් නොතිබූ අමන්දා වැඩි පැකිලීමකින් තොරවම සිය උඩුකය නිරාවරණය කර එම පුද්ගලයාට පෙන්වීය. ඒ අවස්ථාවේදීම එම පුද්ගලයා ක්‍රියාත්මකවී screen shot කිහිපයක් ගැනීමට තරම් නරුමයෙකු විය. පසුව ඔහුගේ ඉල්ලීම වූයේ ඇයගේ අනිකුත් රහස් තැන්ද තමාට පෙන්වන ලෙසයි. එහෙත් අමන්දා එයට අකමැති විය. මේ පුද්ගලයා දිගින් දිගටම එම ඉල්ලීම කළද අමන්දා එයට කැමති වූයේ නැත. අවසානයේදී සිදුවූයේ අමන්දාගේ උඩුකය නිරුවත් ඡායාරූප ෆේස්බුක් වෙබ් අඩවිය හරහා බොහෝ තැන්වලට හුවමාරු වීමයි.


මෙම සිදුවීම නිසා තම ප්‍රදේශයේ අසල්වැසියන්ට හා පාසලේ මිතුරු මිතුරියන්ට මුහුණදීමට නොහැකි වූ අමන්දා හා පවුලේ උදවිය තම නිවෙස් මාරුකර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියේය. එලෙස පදිංචිය මාරුකළද ඇගේ ඡායාරූප ලොවපුරා ප්‍රචලිතවී හමාරය. ඇය විටින් විට පාසල් මාරු කළාය. දැඩි මානසික පීඩාවෙන් මිදීදට ඇය මත්ද්‍රව්‍ය පාවිච්චි කළාය. සිරුර කපා ගත්තාය. වස බිව්වාය. ඇගේ මේ කිසිම ක්‍රියාමාර්ගයකින් ඇයගේ ඡායාරූප ගත් පුද්ගලයාට අනුකම්පා සිතුණේ නැත. ඇයට දිගින් දිගටම තර්ජනය කළේය. 

නිරතුරුව පාසල් මාරුකළ ඈ හට කිසිදු මිතුරු මිතුරියක් නොවීය. එක් පුද්ගලයෙක් පමණක් ඇයට පෙම්වතෙකු ලෙස ළංවුවද ඒ ඇයගෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමටය. එහිදී එම පුද්ගලයාගේ සැබෑ පෙම්වතිය හා ඇගේ යෙහෙළියන් විසින් අමන්දාට දරුණු ලෙස පහරදී කාණුවකට ඇදදැමීය. මෙයින් දැඩිලෙස කම්පාවට පත්වූ අමන්දා වස පානය කළාය. එහෙත් ඉක්මනින් ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයව රොහලකට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව සුවකරගත හැකි විය.

ඇය මීළගට කරනු ලැබුවේ තමන්ට වින කරන ලද අන්තර්ජාලයම තම උදව්වට යොදා ගැනීමය. එනම් තමාට සිදුවූ කරදරය පුංචි කඩදාසි මිටියක සටහන් කර එය පිළිවෙලින් සකස්කොට එකින් එක පෙන්වන ආකාරය වීඩියෝගත කිරීමයි. ඇය මෙය සිදුකරන ලද්දේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. "......මගේ තවත් ඉතිරිවෙලා තියෙන්නේ මොනවද? කිසිදෙයක් නවතින්නෙ නෑ. මට කව්රුත් නෑ. මට කව්රුහරි ඕන....මගේ නම අමන්දා ටොඩ්" යනුවෙන් ඇගේ වීඩියෝවේ අවසාන කඩදාසි කිහිපයේ සදහන් විය. (යූටියුබ් හරහා ප්‍රචාරයවූ එම වීඩියෝව බැලීම සදහා ලින්ක් එකක් ලිපිය අවසානයේ ඇත)


ඇය ඉදිරිපත් කළ වීඩියෝවෙන් ප්‍රයෝජනයක් වූයේ නැත. එය එතරම් පිරිසක් තැකු බව නොපෙණින. ඇය එයින් පසුවද පාසල් මාරුකළත් මිතුරුන්ගෙන් එල්ලවූ කෙනෙහිළිකම්වලින් අඩුවක් නොවීය. වීඩියෝව ප්‍රදර්ශනය වී මාසයකට පමණ පසු අමන්දා ටොඩ් සියදිවි නසාගත්තාය. ලෝකයට හරිහැටි කරුණු අවබෝධ වූයේ මෙම සියදිවි නසා ගැනීම තුළිනි. 

අමන්දාගේ මරණයෙන් පසුව ඇගේ මව මාධ්‍යට පවසා තිබුණේ අනාගතයේදී මෙවැනි ඛේදවාචකයන් වැළැක්වීම සදහා සිය දියණියගේ වීඩියෝව උපකාරීවනු ඇති බවයි. අමන්දාගේ පියා පවසන්නේ ඇය ඉතා ධෛර්යයෙන් යුතුව වීඩියෝව සැකසීම ගැන තමන් සතුටුවන බවත්, එය සකසා අන්තර්ජාලයට අප්ලෝඩ් කිරීම සම්බන්ධව තමන් දැනුවත් කළ බවයි. එමෙන්ම ඇයට දිවිනසා ගැනීමට උවමනාවක් නොතිබූ බවත් ධෛර්යයෙන් මෙයට මුහුණ දීමට අවශ්‍යතාවයක් පැවති බවත් ඔහු තවදුරටත් පවසා සිටියි. කෙසේ වුවද දැන් අමන්දා ටොඩ් තම ජීවිතය හැරදා ගොස්ය. 


ඇයට මෙම සිදුවීම සිදුවී වසර තුනකට ආසන්න කාලයක් විදදරාගෙන සිටීම මහත්වූ ධෛර්ය සම්පන්න ක්‍රියාවකි. කුඩාකලදී දරුවන් හට පරිගණකය භාවිතයට ලබාදීමේදී සීමා සහිතව එය ලබාදිය යුතුය. නිරුවත එතරම් ගැටළුවක් නොවූ බටහිර සමාජයේ පවා මෙවන් සිද්ධීන් ගර්හාවට ලක්වන්නේ නම් ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටවලට කවර නම් කතාද? ඒ නිසා අපගේ පැතුම වන්නේ අමන්දා ඩොට්ට සිදුවූ ආකාරයේ විපතක් කිසිදු කෙනෙකුට අත්නොවන ලෙසයි. 


-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Read More

'තුන්ගුස්කා' වනයට කඩා වැටුණු පිටසක්වල යානාව

Post by Unknown | at 4:05 PM | 5 Comments | Categories

සයිබීරියාවේ තුන්ගුස්කා වනයේ අභිරහස් කතාව (සත්‍ය සිදුවීමකි)



Area 51 හි අභිරහස, පිටසක්වල ජීවීන් පිළිබද බෞද්ධ විග්‍රහය නමින් ඉදිරිපත්වූ ලිපි කියවූ පාඨකයන්ගේ ඉල්ලීම වූයේ තවත් මේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන ලෙසයි. ඒවගේම එම ලිපිවලට ඉහළ ප්‍රතිචාරද හිමිවුණා. එම පෙළඹවීම නිසා කාලය තිබෙන පරිදි මම, සයිබීරියාවේ තුන්ගුස්කා වනයේ අභිරහස් කතාව නමින් සත්‍ය සිදුවීමක් පිළිබද කතා ප්‍රවෘතියක් ඔයගොල්ලන්ට අරගෙන එන්න හිතුවා. ඉතිං මේක ඔක්කොම කියවලා බලලම කමෙන්ට් කරන්නකො.

ක්‍රි.ව. 1908 වසර උදාවිය. මේ කාලයේ රුසියාවේ සයිබීරියාවට අයත් තුන්ගුස්කා වන ප්‍රදේශය ජනශූන්‍ය කලාපයක් විය. 1908 වසරේ එක්තරා දිනක රාත්‍රී කාලයේ තුන්ගුස්කා වනයට කඩා වැටුණු අභිරහස් වස්තුවක් හේතුවෙන් මුළු ලොවම සලිතවී ගියේය. වනාන්තරයේ හෙක්ටෙයාර ගණනාවක් මේ නිසා දැවී අළුවී ගියේය. බොහෝදෙනා මෙය උල්කාපාතයක් ලෙස හැදින්වීය. විද්‍යාඥයන් විසින් මෙම ස්ථානයේ වසර ගණනාවක් පර්යේෂණ සිදුකළද සිදුවූයේ කුමක්දැයි යන්න නිශ්චිත සාධක සොයාගැනීමට නොහැකි විය. මේ නිසා මෙම සිදුවීම පිළිබදව විවිධ වූ වාද විවාද රැසක් ඇතිවූ අතර විවිධ මතවාදයන්ද නිර්මාණය විය. 


බොහෝදෙනා පවසන ලද්දේ මෙය උල්කාපාතයක් බවයි. තවත් අයගේ අදහස වූයේ පියාඹන පීරිසියක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරත් බවයි. කෙසේ වුවද මෙම අභිරහස් සිදවීමෙන් විනාශවූ ශාක වර්තමානය වන විට රෝපණය වී තිබේ. එහෙත් එම ශාක අනෙක් ශාකවලින් වෙනස් වේ. ලොකයේ බොහෝ ප්‍රදේශවල වැවෙන 'ලාච්' නම් ශාකය පත්‍ර දෙකක් සහිත (ද්විකාන්තරික) ශාකයකි. එහෙත් තුන්ගුස්කා වනයේ මෙම ප්‍රදේශය තුළ වැවෙන ලාච් ශාකයේ පත්‍ර තුනක් තිබේ. එමෙන්ම මෙහි තිබෙන ඇතැම් තාලවර්ගයට අයත් ශාකවල අතුබෙදීමක්ද දක්නට ලැබේ. 

ශාක පමණක් නොව එහි සිටින කෘමි සතුන්ද නොයෙකුත් විපර්යාසයන්ට ලක්වී තිබෙන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙහි සිටින කෘමිසතුන් විශාලය. එමෙන්ම ප්‍රමාණයට වඩා බරින්ද වැඩිය. එම සතුන්ගේ ආයුකාලය, ශරීර වර්ණය, පිහාටුවල ස්වභාවය ආදියෙහි වෙනස්කම් තිබෙන බව පෙනීගොස් තිබේ. මීට අමතරව පෘථිවියේ කිසිදු ස්ථානයක දක්නට නොලැබෙන චුම්භකත්වයක් මෙම ස්ථානයේ පවතී. විකිරණශීලී ද්‍රව්‍යද අතිමහත්ය. කෙසේ වුවද මුල් දශක කිහිපය තුළ පර්යේෂණයන් සිදුකළ පර්යේෂකයන්ට මීටවඩා වැඩි යමක් සොයා ගැනීමට නොහැකි විය.

                                                     අදාළ සිදුවීම සිදුවූ ස්ථානය

ලෝකයම පුදුමයට පත්කරමින් 1908 සිදුවීම සිදුවී වසර 68 කට පසු එනම් 1976 දී මෙය පිටසක්වළ යානා අනතුරක් බවට තහවුරුවන සාධක ලැබුණි. එනම් මෙම ප්‍රදේශයේ පෞද්ගලික ගමනක් ගිය පුද්ගලයන් කිහිප දෙනෙකු තමන්ගේ නැතිවූ යමක් සෙවීමේදී ඔවුන්ට හමුවූයේ වෙනස් ගති ලක්ෂණ දරන ලෝහ කැබල්ලකි. එම ලෝහ කැබැල්ල එක් පුද්ගලයෙකු අතින් ගිලිහී බිම තිබෙන ගලක් මත පතිත විය. පුදුමයකි! එම ලෝහ කැබැල්ලෙන් ගින්දර පිටවිය. රිදී පැහැති 2kg පමණ ස්කන්ධයකින් යුක්ත වූ මෙම ලෝහ කැබැල්ල කොටස් තුනකට වෙන්කර රුසියාව, ඇ.එ. ජනපදය යන රටවල පර්යේෂණාගාරවලට යවන ලදී. එයින් තහවුරු වූයේ එය පෘථිවියේ නිෂ්පාදනයක් නොවන බවයි. එවන් වූ නිෂ්පාදනයක් සිදුකිරීමට පෘථිවියේ තිබෙන තාක්ෂණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පැවසිණ. අවසානයේ පර්යේෂණවලින් සනාථ වූයේ මෙය අඩි 27 ක පමණ කවාකාර වස්තුවක කොටසක් බවයි. එනම් ඒ වස්තුව පියාඹන පීරිසියක් විය හැකියි නේද?

1976 මෙම සොයා ගැනීම වසර නවයක් යනතුරුම ලෝකයෙන් වසන් වූ සිද්ධියක් විය. එනම් කිසිදු මාධ්‍යකට මෙම සොයා ගැනීම එළදරව් නොකිරීමට බලධාරීන් වගබලා ගත්තේය. ඒ සදහා හේතුව කුමක්දැයි පැහැදිළ නැති වුවද 1985 ජනවාරි මාසයේදී රුසියාවේ විද්‍යඥයෙකුවන 'සර්ගෙයි බොෂිව්' රුසියානු පුවත්පතක්වන 'සෝසලිස්ට් කායා ඉන්සුන්ට්‍රියා' වෙත ප්‍රකාශ කර සිටියේ "වෙනත් ග්‍රහලොවකට අයත් යානාවක් 1908 දී පෘථිවිය ආසන්න කක්ෂයේදී පුපුරා ගිය බවයි."


උල්කාපාතයක කිසිවිටකත් පිරිසිදු ලෝහ කැබලි තිබිය නොහැක. මෙම ලෝහ කැබලිවල තාක්ෂණයද පෘථිවියට ආගන්තුකය. එනම් සැබවින්ම මෙය රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණාක් මෙන් අභිරහස් පිටසක්වළ යානාවකි. මෙහි තිබෙන වෙනස වන්නේ රොස්වෙල් වල මෙන් යානාවේ සිටි ජීවීන් පිළිබද කිසිදු සාක්ෂියක් නොලැබීමයි. (රොස්වෙල් පිළිබදව ලියවුණු Area 51 හි අභිරහස නම් වූ පෙර ලිපිය මෙතනින් ගිහින් කියවන්න) 

ඇතැම්විට තුන්ගුස්කා වනයට කඩාවැටුණු පිටසක්වල යානාව පෘථිවියට ඇතුළු වූයේ යම්කිසි පර්යේෂණයක් සිදුකිරීමට වන්නට පුළුවන. අපිට මේ යානාව සම්බන්ධ තොරතුරු වාර්තා වූයේ එය පෘථිවියට කඩා වැටීම නිසාය. නමුත් අපගේ නොදැනුවත්කමින් පිටසක්වළයන් කොපමණ පිරිසක් දිනකට පෘථිවි කක්ෂයට ඇතුළුවනවා දැයි මදකටවත් ඔබ සිතා බැළුවාද? ඔවුන්ව දැකබලාගන්න තරම් අපගේ තාක්ෂණය තවමත් ප්‍රාථමික වැඩිය. ඔවුන්ට පෘථිවියේ රේඩාර්වලින් සැගවී මෙහි එන්නට තරම් දියුණු තාක්ෂණයක් ඕනෑවටත් වැඩියෙන් තිබෙන්නට පුළුවන. ඒ ඇවිත් ඔවුන් අපට කරදර නොකරන්නේ අප සතු තාක්ෂණය ඔවුන්ට තර්ජනයක් කළ නොහැකි නිසාවෙනි. නමුත් කවදාහෝ ඔවුන් අපට තර්ජනයක් විය හැකිය.

- දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Read More

දිවි නැගුම පනත මගින් රටට යහපතක් වෙයිද?

Post by Unknown | at 12:05 PM | 1 Comments | Categories

                    දිවිනැගුම පනත පිළිබද විමර්ශනයක්



"1995 අංක 30 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් ඒකාබද්ධ කිරීම මගින් දිවි නැගුම සංවර්ධනස දෙපාර්තමේන්තුව යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවේ......."


ශ්‍රී ලංකා මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කළ දිවි නැගුම පනත් කෙටුම්පත ආරම්භයේදීම මෙලෙස සදහන් වේ. මෙහි ආරම්භයේදීම සදහන් කර තිබෙන්නේ සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් අහෝසිවන බවයි. එහෙත් මේ තුනම ඒකාබද්ධ කර දිවිනැගුම දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ආරම්භවන බව එයින් ප්‍රත්‍යක්ෂවන කරුණකි. සත්‍යවශයෙන්ම දිවිනැගුම පනත වර්තමානයේ බොහෝ අවස්ථාවලදී විවාදයට තුඩුදී ඇති පනත් කෙටුම්පතකි. දෝෂාභියෝගයකට ලක්වී සිටින අග්‍ර විනිශ්චයකාරිණි 'ශිරාණි බණ්ඩාරනාක' මහත්මියද දිවිනැගුම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කර තිබේ. රටේ අගවිනිසුරු තුමිය මෙය විවාදයට ලක්කිරීම කැපී පෙනෙන සිද්ධියකි. ඒ නිසා අපි දිවි නැගුම සම්බන්ධයෙන් සංක්ෂිප්ත ලෙස විමසා බලමු.


දිවිනැගුම පනත මුලසිට අග දක්වා කියවාගෙන යාමේදී පැහැදිළි වන්නේ ආණ්ඩුවේ උවමනාවන් මුදුන් පමුණුවා ගැනීමට එය නිර්මාණය කර ඇති බවයි. මෙහි විවිධ ස්ථර ඔස්සේ ජනතාව වෙත බලය බෙදී යාමක් දක්නට ලැබේ. එනම් දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන, දිවි නැගුම ප්‍රාදේශීය සංවිධාන, දිවි නැගුම දිස්ත්‍රික් කමිටු, දිවි නැගුම ජාතික සම්මේලනය යනුවෙන් ස්ථර ගණනාවකින් යුතුව ක්‍රියාත්මක වීමට නියමිතය. මේ ආකාරයට විවිධවූ මට්ටම් ඔස්සේ ජනතාව වෙත යන දිවි නැගුමෙහි අවසන් පූර්ණ බලතල හිමිවන්නේ විෂයභාර අමාත්‍යවරයාටය. අමාත්‍යවරයාගේ ඒකාධිකාරී බලතල යටතේ එය ක්‍රියාවට නැංවෙනු ඇත. එනම් මේ හරහා ලංකාව පුරා විසිරී පැතිරී සිටින සුළු පරිමාණ ගොවියන් එකම බලඅධිකාරයක් යටතට එකතු කරගැනීම මෙහි අරමුණ බව පැහැදිළිව පෙනේ.


ඉහතින් දක්වන ලද ආකාරයට දිවිනැගුමෙහි ආයතනගත ව්‍යුහය තුළට පැමිණෙන නිලධාරීන් අනිවාර්යයයෙන්ම මහින්ද චින්තනයට ගැත්තන් විය යුතුය. නැතහොත් එහි දැක්වෙන කරුණු ක්‍රියාවට නැංවීමට අපහසුවනු ඇත. කෙසේ වුවද සුළුගොවීන් යහපත් ජීවන මට්ටමකට පැමිණෙනවානම් අප කවුරුත් කැමතිය. පනතෙහි තිබෙන කරුණු බලාත්මක වීම තුළින් ගොවියාට කෙසේ වෙතත් නිළධාරීන්ටනම් යහපතක් උදාවනු ඇත. මන්ද දිවිනැගුම ප්‍රජාමූල බැංකු, දෙපාර්තමේන්තු අරමුදල් විශාල නිළධාරීන් පිරිසක් හරහා ගලා යාමයි. අවසානයේදී රොන්මඩ ටික පමණක් ගොවියා වෙත ගලා යනු ඇත. 

අනෙකුත් සියළු අධිකාරීන්වල නිළධාරීන් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනියුක්තවන නිසා විශාල නිළධාරී පන්තියක් එහි බිහිවනු ඇත. එමෙන්ම නව නිළධාරීන් හා වෙනත් සේවකයන් බදවාගනු ඇත. නිළධාරීන් වැඩිවන විට කිසිදු කාර්යයක් නිසිආකාරව සිදුකර ගැනීමට නොහැකි වේ. මේ තත්වයෙන් සමෘද්ධියෙන් ප්‍රතිලාභ ලැබූ ජනතාව, දකුණේ ජනතාව හා උඩරට ජනතාව මෙන්ම සුළු ගොවියන් අසරණ තත්වයට පත්වීමක් මෙයින් සිදුවිය හැකිය.


කෙසේ වුවද මෙම යහපත් අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් අප කවුරුත් කැමතිය. අප රටේ මෙතෙක් ක්‍රියාත්මකවූ ප්‍රතිපත්ති හා ක්‍රියාදාමවල සාර්ථකත්වය දෙස බැලීමේදී එයින් මහජනයාට ලැබුණු ප්‍රතිලාභ ඉතාමත් සීමිතය. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය දැන් අඩපණ වී තිබේ. එයට මුදල් ගෙවූ ජනතාවගේ මුදල්වලට වෙච්ච දෙයක් නැත. දිවි නැගුමද එවන්වූ ක්‍රමවේදයක්දැයි සැකසහිතය. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් එය අනිවාර්යයෙන්ම සම්මත වීම සිදුවේ. මන්ද පාර්ලිමේන්තුවේ බහුතරය රජය සතුවන බැවිනි. එහෙත් එයින් පසු තත්වය කෙසේ වන්නේදැයි අපට හරියටම පූර්වකථනය කළ නොහැක. මා පෙර කී දේ බොහෝවිට සිදුවීමට ඉඩ තිබේ. ඒනිසා අපි සුළුගොවීන් වෙනුවෙන් නිරන්තර අවධානයෙන් සිටිමු.

-හෝමෝ ඉරෙක්ටස්

Read More

රාගය වැඩි පිරිමියාටද? ගැහැනියටද?

Post by Unknown | at 5:10 PM | 8 Comments | Categories
                   මේ පිළිබදව ඔබ කලින් දැන සිටියාද?


අද මම ටිකක් වෙනස් විදියක ලිපියක් තමයි ඔයගොල්ලන්ට අරගෙන එන්නෙ. මුලින්ම කියන්න ඕන මේක මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට ටිකක් බරයි. මම මේ ලිපිය ලියන්න කරුණු සොයාගත්තෙ ඇලන් පීස් හා බාබරා පීස් විසින් රචිත Why men don't listen and women can't read maps නම් ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක කොටසක් ඇසුරිනි. හැබැයි ඒ පොතේ තියෙන දේවල් ඒ විදියටම මේ ලිපියට ඇතුළත් කළේ නම් නෑ. එහෙනම් වැඩි කතා නැතුවම රාගය වැඩි පිරිමියාටද? ගැහැනියටද? කියලා කියන්නම්කො. ඊට කලින් මේකට පිළිතුර මොකක්ද කියලා ඔයගොල්ලොත් පොඩ්ඩක් හිතලා බලන්න.

මිහිමත ජීවය බිහිවූ දා පටන් ජීවීන් තම වර්ගය බෝකරගැනීම සදහා සංසර්ගයේ යෙදුණි. මෙලෙස සංසර්ගයේ යෙදීම සදහා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ශනය අත්‍යවශ්‍ය සාධකයක් විය. මෙම ආකර්ශනය එකතරා විදියක රාගයක් ලෙස අර්ථකථනය කළ හැකිය. එහෙත් මෙලෙස ඇතිවන ආකර්ශනය රාගයම නොවිය හැක. රාගය සෘජුවම ලිංගිකත්වයට සම්බන්ධ වේ.අප පිරිමියාගේ හා ගැහැනියගේ ලිංගිකත්වය පිළිබදව විමසා බලමු.

ලිංගිකත්වය කියන්නෙ විරුද්ධ ලිංගිකයන් හා එක්වීම සදහා ඇතිවන ආකර්ශනය හෙවත් පිබිදීමයි. ලිංගිකත්වය සදහා සෑම පුද්ගලායකුටම උත්තේජනය සපයන්නේ මොළයේ හයිපොතැලමසෙනි. එය චිත්තවේග, හදවත ගැහෙන වේගය හා රුධිර පීඩනයද පාලනය කරයි. චෙරි ගෙඩියක් තරම්වන 4-5g ක් පමණ බරකින් යුත් මෙය පිරිමින්ගේ ලොකුවට හා ගැහැනුන්ගේ කුඩාවට පිහිටා තිබේ. මෙය පුද්ගලයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මගින් ප්‍රබෝධ කිරීමෙන් ලිංගික සංසර්ගයට ආශාව ඇතිකරනු ලබයි.


පිරිමින්ට බොහෝවිට ඕනෑම අවස්ථාවකදී ඕනෑම තැනකදී ලිංගික සංසර්ගයේ යෙදීමට පුළුවන.තම පරම්පරාව ඉදිරියට ගෙනයාමට පිරිමියාට සමාජයෙන් ලැබුණු ධෛර්යයත්, ලිංගිකව ක්‍රියාකාරී ගැහැනුන් සමාජයෙන් පහත්කොට සැළකීමත් නිසා පිරිමි හා ගැහැණු අතර පවතින රාගය මතභේදයට තුඩුදෙන කරුණක් වී ඇත. පැරණි බ්‍රාහ්මණ සමාජයේ පිරිමියාට වඩා ගැහැණිය අධික කාමුක බවත් ඇය විවාහ වූ පසුද හොර සැමියන් සමග එක්ව නිදාගන්නා බවත් අප අසා තිබේ. එමෙන්ම අපගේ ජාතක කතාවලද ගැහැණියට හිමිවන්නේ මෙවැනිමවූ ස්ථානයකි. සැබැවින්ම වැඩියෙන්ම රාගය තිබෙන්නේ මොවුන් දෙදෙනාගෙන් කාටද? බ්‍රාහ්මණයන් පැවසූ පරිදි ගැහැනියටද? නැත්නම් පිරිමියාටද? මේ ගැන දැනගන්න නම් ලිපියේ ඉතුරු ටිකත් ඔහොම්මම ඉදගෙන කියවන්න.


ගැහැනියගේ තිබෙන අඩු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය හේතුකරගෙන ගැහැනුන්ගේ ලිංගික ආවේග අඩුවීම පැහැදිළිව සෑම තැනකදීම දක්නට ලැබේ. මහපාරේ ගමන් කරනවිට ගැහැනිය පිරිමියෙකු දෙස හැරි හැරී බලන්නේ නැත. කාන්තාව දෙස ගිජු බැල්මෙන් බලන්නේ පිරිමියාය. සොබාදහම ගැහැනිය නිතරම ලිංගික එක්වීමට ප්‍රියකරන තැනැත්තියක ලෙස වර්ගයා බෝකිරීම සදහා නිර්මාණය කර නැත්තේ මන්ද? මෙයට පිළිතුර විය හැක්කේ ගැහැනියට දරුවෙකු කුස දරාගෙන සිටීම හා දරුවා ප්‍රසූත කිරීම දක්වා විශාල වේදනාවන්ට මුහුණදීමට සිදුවීමයි. එමෙන්ම දරුවා වසර කිහිපයක් යනතුරු රැකබලාගත යුත්තේද ගැහැනිය විසිනි. මේ නිසා ගැහැනුන්ගේ ලිංගික ආවේග සීමා සහිතව නිර්මාණය වී ඇතිබව පෙන්වාදිය හැකිය.

අපි මීළගට ගැහැනියගේ හා පිරිමියාගේ විවිධ වයස් මට්ටම් අනුව රාගික හැගීම් වෙනස්වන ආකාරය පිළිබදව කෙටියෙන් විමසා බලමු. පිරිමියා වයසට යනවිට ඔහුගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවන නිසා රාගයද ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. එහෙත් ගැහැනියගේ රාගය වැඩිවීම සිදුවන්නේ වයසින් මුහුකුරා යාමත් සමගය. ඇයගේ ඉතාමත් ඉහළ ලිංගික ආවේග ඇතිවන්නේ වයස අවුරුදු 36-38 අතර කාලයේදීය.පිරිමියාගේ රාගයේ උපරිම අවස්ථාව වන්නේ වයස අවුරුදු 19 යි. එයින් පසු ක්‍රමයෙන් එය අඩුවීමක් පෙන්නුම් කරයි. පිරිමියාගේ මෙ පවතින්නේ ශාරීරික ක්‍රියාකාරිත්වය මතය. එහෙත් ඔහු ලිංගික ආශ්වාදය ලැබීමේ කැමැත්ත ජීවිතයේ බොහෝ කාලයක් යනතුරු පවතී. කාන්තාවගේ මෙය අවුරුදු 45-50 පමණ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ අඩුවී යයි.


ඉහත පෙන්වාදුන් කරුණු ඔබට වැටහෙන්නට ඇතැයි ම විශ්වාස කරමි. එම කරුණු පිළිබදව ඔබ මදකට සිතා බලන්න. ඔබ පිරිමියෙක් නම් පිරිමියාගේ දෘෂ්ටිකෝණයෙනුත් කාන්තාවක් නම් කාන්තාවකගේ දෘෂ්ටිකෝණයෙනුත් සිතා බලන්න. සියළු කරුණුවලින් සනාථතර දැක්විය හැකිවන්නේ රාගය ගැහැණියට වඩා පිරිමියාට වැඩි ප්‍රමාණයකින් තිබෙන බවයි. මෙහි ගැටළුකාරී තැන් හෝ මතවාදයට තුඩුදෙන තැන් ඇත්නම් ඒ පිළිබදව ඔබගේ අදහස් යොමුකරන්න.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය


Read More

චිත්‍රපටය ලෝකයට බිහිවුණේ මෙහෙමයි

Post by Unknown | at 5:59 PM | 1 Comments | Categories

           මුල්ම චලන චිත්‍රපටය සිපගැනීමකින් පටන් ගනී

                                                    ලොව ප්‍රථම චිත්‍රපටයේ දර්ශනයක්

හැමෝම චිත්‍රපටි බලනවනෙ.චිත්‍රපටවලට කැමති නැති අය ඉන්නවනම් ඒක හරිම විහිළුවක් කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ තරමටම චිත්‍රපටය හා අපි අතර ලොකු බැදියාවක් තියෙන නිසා. ඉතිං මෙච්චර අපිත් එක්ක සමීප චිත්‍රපටයේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු ටිකක් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු කරන්න අරගෙන එන්න මට හිතුණා. මේ ගැන ගොඩක් අය අහලා නැතිවෙන්නත් පුළුවන්නෙ. මේකට කරුණු හොයාගන්න ටිකක් මහන්සි වෙන්නත් උනා. වැඩි කතා නැතුව මම එහෙනම් චිත්‍රපටයේ ඉතිහාස කතාව කියන්නම්.

චලන චිත්‍රපටය ආරම්භ වීමට පෙර නිශ්චල ඡායාරූපකරණය ලොවපුරා ප්‍රචලිතවී තිබුණි. නමුත් මිනිසා සියවස් ගණනක් තිස්සේ බලාපොරොත්තුවූ සිහිනයක් වූයේ චලන චිත්‍රයක් සැබෑවට දැකබලා ගැනීමය. එම සිහිනය සැබෑ කිරීමට දායක වූයේ ලුමියර් සොහොයුරන්ය. මොවුන්ට මෙය සැබෑ කිරීමේ අවස්ථාව උදාවූයේ 1895 දෙසැම්බර් 28 වැනිදා සවස්කාලයේදීය. ප්‍රංශයේ 'ද ග්රෑන්ඩ් කැෆේ' හෝටලයේදී 17වන සියවසේ මහා ප්‍රාතිහාර්ය සාමාන්‍ය ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව උදාවිය.

                                                           ලුමියෙර් සහෝදරයෝ

1895 දී චිත්‍රපටය බිහිවුවද එය එලෙස බිහිවීම සදහා බලපෑ දීර්ඝ ඉතිහාස කතාවක් තිබේ. චලන චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස ප්‍රථමයෙන්ම ලොවට ඉදිරිපත්වන්නේ 'ඇරිස්ටෝටල්'ගේ සමයේදීය. එහෙත් එය චලන චිත්‍රයක් නොව සූර්යාලෝකය හා සෙවනැලි රූප අතර පර්යේෂණයකි. කුඩා සිදුරක් හරහා ආලෝක ය ගමන් කරන්නට සලස්වා එමගින් පර්යේෂණයන් සිදුකරන ලදී. 16 වන සියවසේදී 'ලියනාඩෝ ඩාවින්චි' හරහාද චලන චිත්‍රය පිළිබද සාක්ෂි ලොවට ඉදිරිපත් විය. ඔහු ආලෝකයෙන් මතුවන සෙවනැලි චිත්‍රයට නැගුවේය. එමෙන්ම ආලෝකය ගමන් කරන්නේ සරල ගමන්මගක බව පැහැදිළිව පෙන්වාදීමට සමත්විය. එහෙත් අවාසනාව නම්, මේ පිළිබදව අනාවරණය වූයේ ඩාවින්ගේ මරණයෙන් පසුවය. ඔහු ජීවත්ව සිටියදී මෙය අනාවරණය වූයේ නම් චලන චිත්‍රය 1895 ට ප්‍රථමයෙන් ලොවට බිහිවන්නට බොහෝදුරට ඉඩකඩ තිබිණි.

17 වන සියවසේදී චලන චිත්‍රයේ පැමිණීමට පෙර‍ සෙවනැලි නාට්‍යකලාව යුරෝපයේ මහත්සේ ජනප්‍රිය විය. සෙවනැලි නාට්‍යකලාවේ ආරම්භක රට වූයේ චීනයයි. පසුව මෙය අරාබි වෙළෙදුන්ගෙන් යුරෝපයට උරුම විය. යුරෝපයේදී එම රටවල ආවේණික ලක්ෂණ දරමින් එය සංවර්ධනය විය. මේ සදහා මහත්සේ ජනතා ප්‍රතිචාර හිමිවිය. නමුත් ඒ තුළින් මිනිසා බලාපොරොත්තු වූ තෘප්තිය ලැබුණේ නැත. ප්‍රේක්ෂකයාට අවශ්‍ය වූයේ ජීවමාන රූප සහිත චලන චිත්‍රයක් නැරඹීමටය. එය 1895 දෙසැම්බර් 28 වන දින නත්තල් සිසිලසත් සමග විදගැනීමට අවස්ථාව උදාවිය.

                                     තෝමස් අලිවා එඩිසන් ඔහුගේ චලන කැමරාවත් සමග

ලෝකයේ ජීවමාන මිනිසුන් රගපෑමට පෙර විවිධ සතුන්ගේ ඉරියව් රූපගත කිරීමට කැමරා නිෂ්පාදනය කළ විවිධ පුද්ගලයන් උත්සුක විය. ඒ අතර 1874 දී 'එතීන් ජූල්ස් මරේ' නම් සත්ව විද්‍යාඥයා කැපී පෙනේ. නමුත් මේවා නිළවශයෙන් එළිදැක්වූයේ 1895 දීය. 1891 වර්ෂයේදී 'තෝමස් අල්වා එඩිසන්' විසින් ලොව ප්‍රථම මිනිස් නළුවා ලොවට දායාද කළේය. ඒ ඔහුට අයත් චිත්‍රාගාරය තුළදීය. ප්‍රථම නළුවා වූයේ 'ෆ්‍රෙඩ් ඕට්' නම් පුද්ගලයාය. ඔහුගේ රගපෑම වූයේ කිවිසුමක් පිටකිරීමකි. ඒ අනුව ඔහු කැමරාවක් ඉදිරිපිට රගපෑ ලොව ප්‍රථම නළුවා වශයෙන් ඉතිහාසයට එක්විය.

මෙම කිවිසුමත් සමගම එඩිසන් විසින් පිරිමියෙක් හා ගැහැණියෙක් අතර සිදුවන සිපගැනීමක් රූගත කළේය. ඒ 'ජෝන් රයිස්' හා 'මේරි අර්වින්' අතරය. ලෝකයේ චලන චිත්‍රපටය හාදුවකින්ම ආරම්භ වීම කෙතරම් විශ්වකර්ම සිද්ධියක්ද? ඒ අනුව වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ආරම්භයද චිත්‍රපටයේ බිහිවීමත් සමග ආරම්භ වූවා යැයි අපට නිගමනය කළ හැක. (මෙය හුදෙක් මාගේ හාස්‍යජනක නිගමනයක් පමණි)

                                                     ප්‍රථම සිනමාත්මක සිපගැනීම

චිත්‍රපට වාරණය සම්බන්ධයෙන් ප්‍රවෘතියක් සැලවීමට වැඩිකාලයක් ගතවූයේ නැත. ඒ 1894 දී එඩිසන්ගේ සගයා වූ 'ඩික්සන්' නැමැත්තා 'කාමෝෂියා' නම් නළගන රගන අඩනිරුවත් දර්ශනයක් රූගත කළේය. ඇය ඇද සිටියේ ඇගේ යට ඇදුම පමණි. කොංග්‍රස් සභිකයෙකු වූ බ්‍රැඩ්ලි විසින් මෙම චිත්‍රපටය තහනම් කළේය. එය ලෝක සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් වාරණය වූ පළමු අවස්ථාවයි.

මා විසින් මෙතෙක් ඔබට ඉදිරිපත් කළේ ලෝකයේ විවිධ කැමරා නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කළ තම කැමරාවෙන් ලබාගත් එක් එක් දර්ශන පිළිබදව වූ විස්තරයකි. මේවා හුදෙක් චලන චිත්‍ර වූවා පමණක් මිස යම්කිසි කතා තේමාවක් රැගත් සිනමා නිර්මාණ නොවේ. එකල චලන චිත්‍ර නැරඹීම සදහා ජනතාවගේ පැවති ආශාව හේතුවෙන් කිසිදු හරයක් නොමැති වීඩියෝ දර්ශනවලට මහත් ඉල්ලුමක් තිබුණි. නමුත් නිළ වශයෙන් සිනමාත්මක කෘතියක් බිහිවන්නේ 1895 දෙසැම්බර් 28 දාය.

මෙය ප්‍රවේශපත්‍ර විකුණා මහජනතාව වෙත සිනමා කෘතියක් දැන් තිබෙන ආකාරයට නැරඹීමට ලැබුණු මුල්ම අවස්ථාව විය. මෙම චිත්‍රපට දර්ශනයේ චිත්‍රපට පහක් අන්තර්ගත විය. මෙකල බිහිවූ චිත්‍රපටවල ශබ්ද අඩංගු නොවූ බව අබ කව්රුත් දන්නා කරුණකි. චලන රූප පමණක් අඩංගු වූ මෙම දර්ශනය තුළ මුළින්ම පෙන්වන ලද්දේ දොරටුවක් ඇරෙන දර්ශනයකි. ඉන් එළියට පැමිණි ගැහැණුන් හා පිරිමින් පෝලිමේ ඉදිරියට ගමන් කළහ. දඩාවතේ යන බල්ලෙක්ද මේ පිරිස අතර විය. අනාගත ලෝකයේ ප්‍රබලතම විනෝද මාධ්‍යයේ මූලාරම්භය එය වී තිබුණි.

                                    කර්මාන්තශාලාවෙන් එළියට පැමිණෙන පිරිසේ දර්ශනය

ලුමියර් සහෝදරයන් විසින් අතපෙවූ මෙම ඓතිහාසික සන්ධිස්ථානයෙන් අනතුරුව වර්තමානය දක්වා චිත්‍රපටයේ විකාශනය සිදුවිය. මෙහි තිබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ චිත්‍රපටයේ ආරම්භයේ සිටම වර්තමානය දක්වාම චිත්‍රපට මහජනයාට නැරඹිය හැකිවන්නේ තිරයක් මතට ප්‍රක්ෂේපණය කළ දර්ශන තුළින වීමයි. මේ ආකාරයට මුල්කාලීනව දර්ශනවලින් පමණක් ධාවනය වූ චිත්‍රපට පසු කලෙක කතාකාද එකතුවෙමින් සංවර්ධනය විය. මුල්කාලයේදී වාර්තා චිත්‍රපට ඇතිකිරීම ඇතිකිරීම සදහා උපයෝගී කරගත් සිනමාව පසුව උසස් රසවින්දනයක් සහිත සිනමා කෘති බිහිවීම දක්වා විකාශනය විය.

මා විසින් මෙම ලිපියේ දක්වන ලද්දේ චිත්‍රපටයේ උපත සම්බන්ධ ඉතාමත් සංක්ෂිප්ත මෙන්ම පාඨකවන් බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයකි. චිත්‍රපටයේ විකාශනය සම්බන්ධව ඉදිරියටත් ලිපි කිහිපයක් ලිවීමට මාගේ බලාපොරොත්තුවක් ඇත. එය තීරණය වන්නේ මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබගේ අදහස් හා ප්‍රතිචාර පහත කමෙන්ට්වලින් යොමුකරන්න.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Read More

ඔටුවාගේ නාස්පුඩු අගින් හරිතාගාර සෑදෙන අයුරු

Post by Unknown | at 10:52 AM | 2 Comments | Categories

කාන්තාරයේ වනාන්තර ඇතිකිරීමට ඔටුවාගෙන් අදහසක් 

 

 ලංකාවේ ඉපදුනු අපිට බැලූ බැලු අත ගහකොළ ජලය දකින්න තිබුණට මොකද කටාර් , ජෝර්දාන් ඇතුළු අනෙකුත් බොහෝ මැදපෙරදිග රටවල් මෙන්ම ඇතැම් අප්‍රිකානු රටවල මුළු රටම පාහේ කාන්තාරවලින් තමයි සමන්විත වෙන්නේ.ඉතිං මෙවැනි තත්වයක් යටතේ ඔවුන්ට ඉදිරිකාලයේදී විවිධ ප්‍රශ්ණවලට මුහුණපාන්න සිද්ධ වෙන බව පරිසර විද්‍යාඥයන් පවසා සිටිනවා.ඒකට හේතුව තමයි අනාගතයේ ඇතිවන ලෝක ආහාර අර්බුදය හමුවේ මෙවැනි ගහක් කොළක් පවා නොවැඩෙන රටවල්වල ජනතාවට ඇතිවිය හැකි උග්‍ර ආහාර හිගයයි.නමුත් මේ සදහා දැන් ඉදන්ම කටාර් ,ජෝර්දාන් වැනි මැදපෙරදිග රටවල් සුදානම් වන ආකාරයක් තමයි පෙනී යන්නේ.ඔවුන් මේ වන විට කාන්තාරවල වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා.



ඇත්තටම ඔයාලට ප්‍රශ්ණයක් ඇතිවෙනවා ඇති මොකද්ද මේ කාන්තාර වන වගා ව්‍යාපෘතිය, එතකොට මේ සංකල්පයත් එක්ක ඔටුවව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා.මේ ව්‍යාපෘතිය නම් කරලා තියෙන්නේ සහරා වන වගා ව්‍යාපෘතිය (sahara forest project)ලෙසයි.මේ යටතේ වර්ග මීටර් 10000 ක භූමි පදෙසක් මූලික අදියරෙන් වගා කරන්න බලාපොරොත්තු වෙනවා.මේ සදහා පිරිපහදු කළ ( ලවණ ඉවත් කළ ) මුහුදු ජලය යොදාගැනීමට නියමිතයි.එමෙන්ම සූර්ය ශක්තිය Concentrated solar power (CSP) ආධාරයෙන් විදුලි බලය නිපදවන්නයි ඔවුන්ගේ සූදානම.සුර්ය ශක්තිය (CSP)ආධාරයෙන් විදුලිය නිපදවීමේදී විශාල කාච සහ කැඩපත් භාවිතයෙන් සූර්ය කිරණ එක් තැනකට එක් රැස් කරගෙන එමගින් තාප ශක්තිය නිපදවනවා.එම තාපයෙන් හුමාල ටර්බයිනයක් ආධාර කරගෙන විදුලි බලය නිපදවනවා.පහත රූපයේ දැක්වෙන්නේ එවැනි බලාගාරයකි.



විද්‍යාඥයන් ඔටුවාගේ නාසයේ ක්‍රියාකාරිත්වය ඇසුරෙන් කටාර් රටේ වන වගාවක් සිදු කිරීමට සුදානම් වන අතර ඒ සදහා පවුම් මිලියන 3.3ක් වෙන් කර ඇත.මිනිසුන් තම නිර්මාණ සදහා හැම විටම යොදාගත්තේ ස්වාභාව ධර්මයේ නිමැවුම්වල ආකෘතිය.මෙම ව්‍යෘපෘතියට මතුපිට ජලය සහ සිසිල් ජලය යොදාගන්නා අතර එම ජලය මීටර් 200ක් පහළින් පස තුළට පොම්ප කරමින් ගස් එළවළු ඇල්ගාවන් ඇතළු ශාක වර්ග රාශියක් වගා කිරීමට සැලසුම් කර ඇත.මෙම වාරිමාර්ග පද්ධතිය ඔටුවාගේ නාස්පුඩුවල ක්‍රියානාරිත්වයට සමාන වේ.


ඔටුවාගේ නාස්පුඩුවලින් දහවල් කාලයේ කාන්තාරයේ අධික උෂ්ණත්වය නිසා වාතය පිට කරන්නේ ජල වාෂ්ප ආකාරයෙනි.එමගින් නාස්පුඩු අසල නිරන්තරයෙන් තෙතමනය පවතින නිසා, එම තෙතමනය සහිත වායුව නැවත ඔහුගේ නාස්පුඩු වලින් උරාගනී.එය ඔටුවාගේ සිරුරේ ක්‍රියාකාරිත්වයට බෙහෙවින් හිතකර වේ.රාත්‍රියේදී ආර්ද්‍රතාවය අදික නිසා නාස්පුඩුවලින් ජලවාෂ්ප දේහය තුළට උරාගැනීමද සිදු කරයි.මෙම ක්‍රියාවලිය පුටිකා සිදුරු අසල පවතින ජල පටලයේ ක්‍රියාකාරිත්වයට තරමක් සමාන වේ.



මේ ආකාරයටම කාන්තාරයේ කෘතිමව තැනූ හරිතාගාරයේ විශාල විදුරු බිත්ති වෙත සුර්ය ශක්තිය ආධාරයෙන් මුහුදු ජලය පොම්ප කරන අතර එමගින් වීදුරු පිටත් පෘෂ්ඨය සිසිල් වෙයි.නමුත් රත්වී ඇති පෘෂ්ඨය නිසා එම ජලය වාෂ්ප බවට පත් වී ඉහළ නගින් අතර නැවතත් තාක්ෂණික මෙවලම් මගින් එම වාෂ්ප ඉහළ යාමට පෙර නැවත සිසිල් කර ද්‍රව ජලය බවට පත් කරයි.මෙය ඔටුවාගේ නාස්පුඩු ක්‍රියාකාරිත්වයට බෙහෙවින්ම සමාන වේ.මේ සදහා කාන්තාරයේ පොළව යටින් විශාල සිසිලන නළ පද්ධතියක් යොදා භූමියේ උෂ්ණත්වය අඩු කිරීමද සිදු කර ඇත.


මේ ආකාරයට මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවුහොත් ඉදිරි වසර කිහිපයේදී කටාර් , ජෝර්දාන් වැනි මැදපෙරදිග රටවල කෘතිම වනාන්තර දැක ගැනීමට අපිට හැකි වනු ඇත.එමෙන්ම මෙයින් ඔවුන්ගේ ආහාර අර්බුදයට විසදුමක් ලෙස තම රට තුළදීම ආහාර නිපදවා ගැනීම ඉදිරි පියවරක් වශයෙන් ඔවුන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.මදක් බලා සිටින්න  සමහර විට අනාගතයේදී මැද පෙරදිගින් අප රටට සහල් නෞකා පැමිණිමට පුළුවන.මක් නිසාද යත් ඔවුහු අප රටට වඩා ඉදිරි අනාගතය ගැන හොදින් සිතනා බැවිනි.

Daily Mail  හි පළ වු ලිපියක් ඇසුරෙනි

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
Read More

ඔබත් facebook ඇබ්බැහියෙන් පෙළෙන්නෙක්ද?

Post by Unknown | at 11:17 AM | 0 Comments | Categories

           sms යුගය නිමා විය facebook යුගය උදා විය


අද වන විට facebook යනු ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් සමාජ සම්බන්ධතා ජාලයකි. වයස්භේදයකින් තොරව පාසල් ළමුන්, තරුණ තරුණියන්, ගුරුවර ගුරුවරියන්, ව්‍යපාරිකයන්, කලා ශිල්පීන්, විවිධ ආගම් වලට අයත් පූජකවරුන් මෙන්ම වයස 60, 70 ඉක්මවූ මහල්ලන් පවා අද facebook account එකක හිමි කරුවන්වේ.

facebook යනු මිතුරු, ව්‍යාපාරික, පවුල් සබඳතා පවත්වාගෙන යාමේ අරමුණෙන් ආරම්භ වුණු අද වන විටලොව පවතින විශාලතම සමාජ සබඳතා ජාල වෙබ් අඩවියයි2004 වසරේ හාවඩ් සිසුවකු වන Mark Zuckerberg විසින් facebook සමාජ සම්බන්ධතා ජාලය ආරම්භ කරන අතරමෙහි මුල් කාලීන නම වූයේ the facebook යන්නයි. මුල් කාලීනව හාවඩ් සරසවිය සහ තවත් සරසවි කිහිපයක පමණක් මෙම සමාජ සබඳතා ජාලය භාවිත කළද ඉමහත් සාර්ථකත්වය නිසා පසුව facebook යනුවෙන් නම වෙනස් කරමින් අන්තර්ජාතික තලයට මුදා හැරුණි2012වසර වන විට ලොව පුරා මිලියන 900ට අධික පිරිසක් facebook හා සම්බන්ධව සිටියි. ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ facebook පරිහරණය කරන්නන් සංඛ්‍යාව 1 448 160 බව www.socialbakers.com වෙබ් අඩවිය පවසයි.

                       වයස අනුව ශ්‍රී ලංකාව තුළ facebook ව්‍යාප්තිය                                                                                       


                         ශ්‍රී ලංකාව තුළ facebook ව්‍යාප්තියේ පිරිමි ගැහැණු අනුපාතය 

විවාදයකින් තොරව facebook යනු මෙම දශකයේ නැමියාවයි, ‍රැල්ලයි. නමුත් ගැටළුව වන්නේ අපි එහි සීමාවන් ඉක්මවා ගියාදයන්නයිFacebook ඇබ්බැහි වීම යනු සත්‍යක්ද?

ඇබ්බැහි වීමක් යනු යම් කිසි ප්‍රපංචයක් කෙරෙහි අපගේ කායික සහ මානසික හැඟීම්පාලනයෙන් තොර වීමයි. ඇබ්බැහි වීමක් නිරන්තරයෙන් අපට හානිකර ලෙස බලපානු ලබයි.දුම්වැටි ,මත්ද්‍රව්‍ය වැනි දෑ කෙරෙහි මිනිසුන් ඉක්මනින් ඇබ්බැහි වන බව අප කවුරුත් දන්නා කරුණකි. එනමුත් 21 වන සියවසේ මෙම දශකයේ වැඩිම ඇබ්බැහි වීම දක්නට ලැබෙන්නෙ facebook සමාජ සම්බන්ධතා ජාලය කෙරෙහි බව ලොව පුරා සිදු කරන ලද විවිධ අධ්‍යනයන් පෙන්වා දෙයි.

ඇමරිකානු මනෝ විද්‍යාඥයින් facebook ඇබ්බැහි වීම පිළිබඳව අදහස් පළකරයි. ඔවුන් එය facebook අබ්බැහි වීමේ අක්‍රමතාව (facebook addiction disorder [FAD]) ලෙස නම්කිරීමම එය කෙතරම් මිනිසා කෙරෙහි බලපා ඇත්දැයි යන්නට මනා නිදසුනකි. එක්තරා අධ්‍යනයකින් පෙන්නුම් කරනුයේ facebook අත්හැරීම මත් පැන්, දුම්වැටි අත්හැරීමට වඩා අසීරු කාරණයක් යන්නයි. facebook ඇබ්බැහි වීම අර්ථ නිරූපනය කරන්නෙ අප facebookසමග ගත කරනකාලය සම්බන්ධ කර ගනිමිනි. එය අපේ එදිනෙදා ජීවිතයේ සාමන්‍ය දේවල් වලටඅහිතකර ලෙස බලපෑම් කරනවා නම් එය facebookඅබ්බැහි වීමේ රෝගතත්වයයි.

facebook ඇබ්බැහි වීමේ ලක්ෂණ.

1.උදෑසන අවදිවීමෙන් පසු ඔබ කරන පළමු කර්ය facebook log වීම නම්,

2.ඔබ සිතා ගත් වේලාවටත් වඩා කාලයක් facebook online ඉන්නවා නම්,

3.ඔබ facebook online සිටින කාලය වැඩි යැයි ඔබේ මිතුරන් දොස් කියනවා නම්,

4.fbක්‍රියා කාරකම් ඔබේ පෞද්ගලික ජීවිතයට බලපැම් කරනවා නම්,

5.ඔබ fb online සිටින කාලය වැඩි යැයි ඔබේ මිතුරන් පැවසූ විට ඔබ තරහ ගන්නවා නම්,

6.කම්පියුටරයේ online වැඩ නිසා ඔබ නින්ද සහ කෑම නොසලකා හරිනවා නම්,

7.ඔබ අන්තර්ජාලයේ වෙනත් වැඩක සිටින විටත් online chating ගැන නිතර නිතර අවධානය යොමු   කරනවා නම්,

8.සැබෑ ජීවිතයේ මිතුරන්ට වඩා facebook මිතුරුකම් නඩත්තු කරනවා නම්,

9.ඔබට log out වීමට අවශ්‍ය උවත් තව සුලු වෙලාවක් ‍රැදී සිටීමට හිත කියනවා නම්

10. කුමන හෝ දුෂ්කරතාවක් නිසා facebook භාවිතය මගහැරුණු විට කාංසාව, කණගා‍ටුව ඇතිවෙනවානම්, එවන් අවස්ථාවල facebook ගැන කතාකිරීමට සහ තමන් නැති අතර කුමන දෑ post කරන්න ඇත්දැයි සිතනවානම්

11. සැබෑ ජීවිතයේදී අළුත් මිතුරන් හමුවී වෙන් වෙන මොහොතේ "facebook එකේදි කතා කරමු" "fbඑකේදි meet වෙමු" යනුවෙන් පවසනවා නම් 

මෙම ලක්ෂණයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ ඔබ තුල දකිනවා නම් ඔබද (FAD) Facebook Addiction Disorder] face book ඇබ්බැහි වීම තත්වයට ගොදුරුව ඇත. එසේ නම් facebook ඔබගේ සාමන්‍ය කටයුතු, පාසල් වැඩ, කාර්යාලයේ වැඩ, සමාජ සබඳතා ආදියට බධා ඇති කරයි. එම තත්වයෙන් අත්මිදීම නිසැකවම කළ යුත්තකි. ඉදිරි ලිපියකින් [FAD] facebook Addiction Disorder  තත්වයෙන් මීදීමේ මාර්ග සාකච්ඡා කරමු. 

-සුචින්තන දසුන්
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Read More

ඔබත් හැකර්කරුවෙක්ද?

Post by Unknown | at 9:09 PM | 2 Comments | Categories

                   හැකිං ප්‍රහාරවල නූතන තත්වය


හැකර්කරුවා, හැක්කාරයා, හැකිං ප්‍රහාර යන වචන ඔබට අමුතුදෙයක් නෙවෙයි. මොකද වර්තමානය වනවිට මේගැන බොහෝ අවස්ථාවලදී අපට අසන්නට ලැබෙන නිසා. මේ හැකර් කරුවෝ දැන් දැන් ලෝකයේ පැවැත්මට තර්ජනයක් වෙමිනුයි ඉන්නෙ. සයිබර් අවකාශයේ සැරිසරන සාමාන්‍ය පුද්ගලයන්ටද දැන් මේ හැකර් කියක රෝගය බෝවෙලා තිවයන්නෙ. ඉතිං කම්පියුටර් එක අතපතගාන මේගොල්ලොන්ට හැක්කාරයෙක් වෙන එක අභිමානයට කාරණයක් වෙලා. ඒකනම් එච්චර හොද තත්වයක් නෙමෙයි. මගේ ලිපියේ අරමුණ හැක්කාරයො කියන්නෙ කවුද කියන එක පැහැදිළි කරන එක නෙවෙයි. ඒත් මේ ගැන හරිහැටි තේරුමක් නැති අයත් ඉන්න පුළුවන්නෙ. මේක නිකං කාගෙවත් ෆේස්බුක් පාස්වර්ඩ් එකක් හැක් කරනවා වගේ දෙයක් නෙවෙයි. ඒක පොඩි සොෆ්ට්වෙයාර් එකකිනුක් කරන්න පුළුවන්නෙ.ඊටවඩා බැරූරුම් කාරණයක්. ඒ නිසා මම ඔක්කොටම කලින් හැකිං සහ හැකර්කරුවන් සම්බන්ධව පුංචි හැදින්වීමක් කරන්නම්. 

හැකිං (haking) කියලා හදුන්වන්න පුළුවන් වෙන්නෙ නීතිමය තත්වයෙන් බැහැරව යම්කිසි තොරතුරු පද්ධතියක හරි පරිගණක ජාලයක තියෙන ආරක්ෂක ක්‍රමවේද මගහැර ගොස් එයට රහසිගත ලෙස ඇතුළුවීමයි. මෙය සාපරාධී ක්‍රියාවකි. මෙහි එතිකල් හැකිං (ethical hacking) කියල තවත් පැත්තක් තියෙනවා. ඒකියන්නෙ නීතිමය අවසරයක් ඇතිව පරිගණක ජාලවල ඇතිවී තිබෙන දෝෂ මගහැරවීම සදහා විකල්ප මාර්ගයකින් එයට ඇතුළුවීමයි. මේ ආකාරයට ආරක්ෂක ක්‍රමවේද මගහරිමින් පරිගණක ජාලවලට ඇතුළුවන්නා හැකර්කරුවා/හැක්කාරයා ලෙස හදුන්වනවා. මේ හැක්කාරයාවද ආකාර දෙකකින් හදුන්වනු ලබනවා. නරක චේතනාවෙන් හැක්කරන්නා black hat hacker ලෙසත් යහපත් චේතනාවෙන් හැක්කරන්නා white hat hacker ලෙසත් හදුන්වයි. හැබැයි ඉතිං ලෝකයේ වැඩිපුර ඉන්නෙ black hat hacker ලා තමයි. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ලෝකයට මහත් හානිදායක වෙලා සහ වෙමින් පවතිනවා. ඒ නිසා මෙම ලිපියෙන් ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයේ බලපෑම පිළිබදව විමසා බලමු.


බොහෝ දෙනා හැකිං ප්‍රහාර ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැදින්වීමට පෙළඹී තිබේ. ත්‍රස්තවාදයේ නූතන පරිවර්තනය ලෙසද මෙම හැකිං ප්‍රහාර පත්වෙමින් තිබේ. ලෝකබලවතුන් භීතියට පත්කරමින් හැකර් කරුවෝ තම කටයුතු කිසිදු අවහිරයකින් තොරව පවත්වාගෙන යනු ලබයි. මේ සදහා ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැකිවන්නේ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ 'ජුලියන් අසාන්ගේ' ක්‍රියාකාරිත්වයයි. ඔහුගේ වෙබ් අඩවිය විසින් ඇ.එ. ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිවල ඇති සියළු රහස් තම විකිලීක්ස් වෙබ් අඩවිය තුළින් මුළු ලෝකයාටම ඉදිරිපත් කළේය. මෙය එක්තරා අන්දමක හොරකමක් වුවද මගේ හැගීම වන්නේ මේ හරහා ඇමරිකාවේ නිරුවත ලොවට හෙලිවූ බවයි‍. වසර 2001 දී ඇමරිකාවේ ලෝකවෙළද මධ්‍යස්ථානයට එල්ලවූයේ අල්කයිඩා ප්‍රහාරයකි. නැවත 2010 දී ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවට එල්ලවූ සයිබර් ප්‍රහාරය අල්කයිඩා ප්‍රහාරයට නොදෙවෙනිය.


මෙම ආරක්ෂක තොරතුරු අඩංගු රහසිගත සයිබර් කලාපයට ඇතුළුවී තිබෙන්නේ 'බ්‍රැඩ්ල් මැනිං' නම් ඇමරිකන් සෙබලාය. ඔහු හරහා එම තොරතුරු ජුලියන් අසාන් අතට පත්විය. මොවුන් දෙදෙනාම දැන් සිපිරි ගෙදරය. මෙවැනි දේවල් දැන් ලෝකයේ බොහෝ තැන්වල සිදුවේ. විශේෂයෙන් හැකිං ප්‍රහාර සිදුකිරීම සදහා බොහෝ කණ්ඩායම් ලෝකයේ ඒකරාශීවී සිටී. මෙම හැකර්කරුවන් අන්තර්ජාලයේ පෙනීසිටිනවිට බොහෝ අවස්ථාවලදී භාවිතා කරන්නේ 'ගයිඩෝ ෆොකීස්' නම් පුද්ගලයාගේ වෙස්මුහුණයි. මොහු 16වන සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු පුද්ගලයෙකි. මේ ආකාරයෙන් පෙනී සිටින හැකර් කණ්ඩායම් අතර ලූල්සෙක්(Lulzsec), අපි ඇනෝනිමස් (we are anonymous) යන කණ්ඩායම් ප්‍රමුඛස්ථානයක් ගනී. මොවුන් පසුගියකාලයේ කැපීපෙනුනේ ලෝකයේ සුප්‍රසිද්ධ ස්ථානවල පරිගණක ජාලවලට ඇතුළුවී තම සෙල්ලම් පෙන්නූ නිසාය. ඔවුන්ගේ ප්‍රහාරවලට ලක්වූ සුප්‍රසිද්ධ ආයතන කිහිපයක් පහත දැක්වේ.

නාසා ආයතනය
සීඅයිඒ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ඇමරිකානු ගුවන්විදුලිය
ඇමරිකානු සෙනට් සභාව‍
ඇමරිකානු ජාතික සෞඛ්‍ය සේවය
සෝනි පික්චර්ස්
සෝනි ප්ලේස්ටේෂන්
සෝනි මියුසික්
හොන්ඩා කැනඩා ආයතනය

හැකර් කරුවෝ මෙම ආයතනවල පරිගණක ජාලවලට ඇතුළුවී හිස් අතින් ආපහු ගියේ නැත. ඒවයේ අඩංගුකර තිබූ වටිනා රහස් දත්ත රැසක් ඔවුන් විසින් සොරා ගනු ලැබීය.

ලෝකයේ දේශපාලනික වශයෙන්ද හැකර්කරුවන් මැදිහත්වීම නව ප්‍රවණතාවයක් වී තිබේ. විශේෂයෙන් අරාබික‍රයේ රටවල පවතින දේශපාලනික තත්වය මත එම රටවල සිටින කැරළිකරුවන්ට සහයදීමට හැකර්කරුවන් සමත්වී තිබේ. විශේෂයෙන්සිරියාව, ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව වැනි රටවල මෙම තත්වය දැකගත හැකිය. එනම් එම රටවල පාලන  අධිකාරය විසින් එම රටවල තොරතුරු ජාත්‍යන්තරයට යාම වැළැක්වීම සදහා අන්තර්ජාලය සීමා කරතිබේ. ‍අපේ භාෂාවෙන් කියනවානම් බ්ලොක් කර තිබේ. මේ නිසා කැරළිකරුවෝ හැකර්කාරයන්ගේ පිහිට ලබාගෙන අදාළ තොරතුරු ජාත්‍යන්තරයට ගෙන යාමට පෙළඹී ඇත. ඒ තුළින් ජාත්‍යන්තරයෙන් කැරළිකරුවන් හුදකලා වීම වැළකී තිබේ. ඒනිසා කැරළිකරුවන්ට බාහිර ලෝකයේ උදව් ඇතිව පාලකයන් පලවා හැරීමට හැකිවී තිබේ.


‍හැකර්කරුවන් පිළිබදව තවදුරටත් ලිවීම කළ හැක. නමුත් ලිපියේ දීර්ඝභාවය සලකා එසේ නොකරමි. ලෝකයේ බොහෝ රටවල් සයිබර් අපරාධ මැඩලීමේ නීතිරීති දැඩිකරමින් සිටී. මේ සදහා හැකර් කරුවන්ගේ පිළිතුරවන්නේ නීති පනවන්නන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවී තිබෙන බවයි. රටකට, ආයතනයකට, පුද්ගලයෙකුට බරපතල විනාශයෙක් සිදුකිරීමට ත්‍රස්තවාදීන් යොදාගන්නේ ගිනි අවි හෝ පුපුරන ද්‍රව්‍යයයි. ඒ හා සමාන විනාශයක් කිරීමට හැකර්කරුවන්ට අවශ්‍යවන්නේ පුංචි රහස් පදයක් පමණි. මේ ආකාරයට සයිබර් යුද්ධයක් තුළ අප ජීවත් වේ. එය දැන් ආරම්භවී හමාරය. අප කළ යුත්තේ තවත් කෙනෙකුගේ දෙයක් සොරාගැනීම(හැක් කිරීම) නොව එය හැකිතාක් අවම කිරීමට කටයුතු සිදුකිරිමයි. මොකද ලංකාවේද හැක්කාර‍යන් වීමට මාන බලන පුද්ගලයන් බොහෝසිටින බැවිනි. 
  
-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය                                
Read More

මිනීමස් කන ලංකාවේ වෙසෙන මානව වර්ගය - නිට්ටෑවෝ

Post by Unknown | at 9:40 PM | 8 Comments | Categories
ලංකාවේ තාමත් නිට්ටෑවෝ ඉන්නවද ?




ලංකාවේ වාසය කරපු ආදි වාසී ස්වදේශීය ජනතාව වැද්දන් කියලා අපි හැමදෙනාම දන්නවා ඒත් වැද්දන්ට වඩා පැරණි කාලයේ ඉදලා වෙනත් වර්ගයක මානව කොට්ඨාශයකුත් මෙරටේ ඉදලා තියෙනවා කිව්වොත් ඕගොල්ලෝ ගොඩක් පුදුමයට පත්වෙයි.ඇත්තටම ඒ වගේ මානව කොට්ඨාශයක් ඒ කාලෝ ඉදලම ලංකාවේ ඉදලා තියෙනවා.නිට්ටෑවෝ කියන මානව වර්ගය ලංකාවේ බිහිවෙලා තියෙන්නේ මේ අද ඊයේ කාලෙක නෙවෙයි.ඔවුන් මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉදන් ලංකාවේ ඉදලා තියෙනවා.නිට්ටෑවන්ගේ ප්‍රධාන අංග ලක්ෂණ කිහිපයක් තියෙනවා.ඔවුන් වැඩිය උසක් නැති මානව වර්ගයක් අප්‍රිකානු මහද්වීපයේ වාසය කරන පිග්මිවරු කියන තරමක් උසින් අඩු මානව වර්ගයක් ගැන ඔබ අසා ඇති.නිට්ටෑවන් අන්න ඒ වගේම උසින් අඩි 3-5 අතර ප්‍රමාණයක් වෙනවා.ඔවුන්ගේ දේහ බර නම් නිශ්චිත අගයක නැහැ.ඔවුන් කකුල් දෙකෙන් ඇවිදීමට හැකි නමුත් තරමකු කොර ගසමින් ඇවිදින මානව වර්ගයක් බව තමයි විද්‍යාඥයන් පවසන්නේ.


  වැදගත්ම කරුණ තමයි ඔවුන් ආහාරයට ගන්නේ මස් වර්ග වීම.බොහෝ විද්‍යාඥයන් පවසන පරිදි මෙම මානව වර්ගය හෝමෝ සේපියන් මානවයාට වඩා ඉතා නොදියුණු මානව වර්ගයක්.මොවුන් මිනී මස් ආහාරයට ගන්නා බව තමයි විශ්වාස කරන්නේ.එහෙම කිව්වාම මේ ලිපිය කියවන සමහර කට්ටියට බය හිතෙන්නත් පුළුවන්.ගොඩක්ම බය හිතෙන කතාව තාම ඇහුවේ නැහැනේ.ඒ තමයි මොවුන් තාමත් ලංකාවේ සමහර කැළෑබද ප්‍රදේශවල විශේෂයෙන් අම්පාර මොණරාගල දිස්ත්‍රික්කවල එකා දෙන්නා වශයෙන් හෝ ජීවත් වෙන බව කටකතා පැතිරිලා තියෙනවා.

ඒ වගේ පදෙස්වල කැලෑ ඇතුළට යද්දී මේ මිනීමස් කන නිට්ටෑවන්ගෙන් පරිස්සම් වෙන එක තමයි ඇගට ගුණ.වැද්දන්ගේ පුරාවෘත්තවලට අනුව ඉතා ආදි කාලයේ වැද්දන් දඩයමේ ගොස් සතුන් මරද්දි,ඒ වගේම පළතුරු මී පැණි එකතු කරන්න යද්දි වනරොදේ හිටපු නිට්ටෑවන්ගේ සැහසික ප්‍රහාරවලට වැද්දන්ව හසු වී තිබෙනවා.නිට්ටෑවන්ට වෙන් වූ වෙනම බල ප්‍රෙද්ශ ඔවුන් නිර්මාණය කරගෙන තිබෙනවා.ඒ බල ප්‍රෙද්ශවලට වැද්දන් ඇතුළු වුවහොත් ඔවුන් වැද්දන්ව ඝාතනය කරනවා කියලා තමයි එම පුරාවෘත්තවල දැක්වෙන්නේ.කාලයක් යද්දී නිට්ටෑවන් විසින් වැදි ගම්වලට රාත්‍රියේ ඇතුළු වෙලා වැදි පැටවුන් ( වැදි දරුවන්) අල්ලගෙන ගිහින් තියෙනවා.මෙම කෙණහිලිකම් ඉවසාගත නොහැකිව වැද්දන් විසින් සංවිධානය වී නිට්ටෑවන් විශාල ප්‍රමාණයක් වාසය කරන ලෙන් සහ ගුහාවල දොරටුවලට විශාල ගල් සහ ලී කොටන් යොදා හරස් කොට දින 3-4 ක් වසා තබා ඔවුන්ව ගුහා තළම කුසගින්නේ මිය යාමට සලස්වා ඇති බවයි පුරාවෘත්තවල දැක්වෙන්නේ.



මොවුන්ට නිශ්චිත භාෂාවක් තිබිලා නැහැ.කුරුල්ලන්ගේ හඩට සමාන හඩක් සහ මිනිසුන්ගේ සිවුරුහන් බෑමට සමාන ශබ්ද නිකුත්  කරගනිමින් අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ.1887 දී ලංකාවේ දේශ ගවේශණය සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික Hugh Nevill පවසන්නේ එකල වැද්දන් විසින් විශාල වශයෙන් නිට්ටෑවන් විනාශ කළ බවයි.මොවුන් hominid නැමැති මානව වර්ගයේ කොටසක් බවයි සදහන් වෙන්නේ.1945 දී W.C. Osman Hill සහ Bernard Heuvelman මුද්‍රණය කරන ලද ලේඛනවල සදහන් වෙන්නේ ඒ වන විටත් ලංකාවේ විවිධ වනාන්තරවල නිට්ටෑවන් කුඩා කණ්ඩායම් ලෙස වාසය කළ බවයි.2004 ඔක්තෝම්බර් 27 වනදා ඉන්දුනීසියාවේ Flores දිවයිනේ නව මානව විශේෂයක සාක්ෂි ලැබුණු අතර එම මානව වර්ගය Homo floresiensis ලෙස නම් කරනු ලැබුවා.නිට්ටෑවන් මෙම මානව විශේෂයට බොහෝ සමානක් දක්වන බවයි පවසන්නේ.මොවුන් ඉතා තුනී රෝම තට්ටුවකින් දේහය ආවරණය වූ මානව වර්ගයක්.ඒ වගේම අන්දමන් දූපත්වල වාසය කළ ග්‍රෝත්‍රික කොට්ඨාශ නිට්ටෑවන්ගෙන් පැවත එන බවත් විශ්වාස කරනවා.2004 වසරේ පැමිණි සුනාමි රළ පහරින් එම ගෝත්‍රික පිරිස්ද බොහෝමයක් විනාශයට පත්වුනා.


 
IUCN(International Union for Conservation of Nature)සංවිධානය පවසන පරිදි මෙම නිට්ටෑවන් ලෙස හදුන්වන මානව වර්ගය රාහු වළසුන්(Sun bears)ලෙස හදුන්වන වලස් වර්ගය විය හැකි බවත් පවසනවා. 


නිට්ටෑවන් හට ඉතා ශක්තිමත් දෑත් දෙපා පැවතී ඇති අතර ඔවුන් විශෘල සත්වයෙක් නම් ගල් ගසා මරා දමා තම නියපොතු සහ උල් ලී කැබලි ආධාරයෙන් උදරය පළා රුධිරය පානය කරන බවයි සදහන් වෙන්නේ.නිය ඇත්තෝ යන වචනයෙන් නිට්ටෑවන් යන නාමයෙන් මෙම මානවයක් හදුන්වනවා.බ්‍රිතාන්‍ය පාලන සමයේ ලක්දිව වාසය කළ රචකයෙකු වන ආර්.එල්.ස්පිට්ල් නම් පවසන්නේ මොවුන මිනිසුන්ට සමානව ඇවිදීමට හැකි වළසුන් විශේෂයක් බවයි.නමුත් බොහෝ විද්‍යාඥයන් මේ වන විට නිට්ටෑවන් යනු Homo floresiensis මානව වර්ගයෙන් පැවත එන උප විශේෂයක් බවයි කියා සිටින්නේ.කොහොම වුනත් නිට්ටෑවන් දැකපු කට්ටිය වර්තමානයෙත් ලංකාවේ විවිධ පදෙස්වලින් වාර්තා වෙනවා.ඒක නිසා අම්පාර,කුඩුම්බිගල පැත්තේ කැළෑවල ඇවිදින්න යන්නේ බලාගෙන....

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

Read More

විදුලියට බිලක් ගෙවූ කාලය දැන් ඉවරයි

Post by Unknown | at 7:33 PM | 2 Comments | Categories

       රැහැන් රහිතව විදුලිය නිවසටම ගෙන්වාගන්න


විදුලිය ලෝකයේ පැවැත්මට නැතුවම බැරි සාධකයකි. එමනිසා විවිධවූ ශක්ති මූලාශ්‍ර පදනම් කරගෙන මිනිසා විදුලිය නිපදවා ගනී. මේවා අතරින් ජල විදුලිය, සූර්ය බලශක්තිය, ඉන්ධන දහනයෙන් විදුලිය නිපදවීම, සුළං බලය, උදම් බලය,...... ආදී වශයෙන් විවිධ ක්‍රමෝපායන් යොදාගනිමින් ලෝකයේ බොහෝ රටවල් විදුලිය නිෂ්පාදනය කරගනී. මෙලෙස නිපදවූ විදුලියට නව අරුතක් හිමිවූයේ 'තෝමස් අල්වා එඩිසන්' විසින් විදුලි බල්බය සොයාගැනීමත් සමගය. පසුව විවිධවූ විදුලි උපකරණ භාවිතයෙන් ලෝකයා තම එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට යොමු වූ අතර එය ඔවුන් සිය රටේ ජාතික පද්ධතියෙන් ලබා ගත්තේ යම්කිසි මිලක් දෛනිකව, මාසිකව, වාර්ෂිකව ගෙවීමෙන් අනතුරුවය. 

නමුත් මම මේ කියන්න යන්නෙ අමුතුම ජාතියේ විදුලිබල නිෂ්පාදනයක් ගැන. මේ සදහා විදුලි රැහැන් ඇදීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වගේම අමුතුවෙන් විදුලි බිලක් ගෙවන්න ඕන වෙන්නෙත් නෑ. ඉතිං මොකක්ද මේ අරුම පුදුම විදුලි උත්පාදන ක්‍රමය. ඒ පිළිබදව අපි ටිකක් තොරතුරු සොයා බලමු. 


ඇත්තවශයෙන්ම කියනවනම් මේක තරංග ආකාරයෙන් නිවසට එන විදුලි ක්‍රමයක්. හැබැයි තාම මේක තියෙන්නෙ පර්යේෂණ මට්ටමේ. ඔයගොල්ලො හැමෝම දන්නවනෙ ජංගම දුරකථනවලට, රූපවාහිනීවලට, ගුවන්විදුලි යන්ත්‍රවලට සිග්නල් එන්නෙ තරංග ආකාරයෙන් කියලා. ඒ කියන්නෙ නොයෙක් සංඛ්‍යාත්මක පරාසයන්ගෙන් යුක්ත වූ විද්‍යුත් චුම්භක ඇසුරින් තමයි ඒ කටයුතු කෙරෙන්නෙ. කෙසේ වුවද මෙම තරංග අප භාවිතා කළද ඒවා ඒ අවස්ථාවේදී වැනසීයාමක් සිදුනොවේ. එමෙන්ම ඒවායේ බලය හීනයාමක් සිදුනොවේ. ඒවා නොයෙක් නොයෙක් අත විහිදෙමෙන් පැතිරෙමින් තිබේ. ඒ අනුව පැවසිය හැකිවන්නේ අප ජීවත්වන්නේ තරංග සැරිසරන විද්‍යුත් චුම්භක අවකාශයක් තුළ බවයි. 


ඇ. එ. ජනපදයේ ජෝජියාටෙක් ආයතනයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු පාසලේ මහාචාර්ය මැනොස් ටෙන්ට්සෙරිස් හා ඔහුගේ ශිෂ්‍ය රුෂි වාස් විසින් මෙම විදුලි උත්පාදක ක්‍රමය සොයාගෙන තිබේ. මෙලෙස විදුලිය නිපදවීම තුළින් සන්නිවේදන කටයුතුවලට බලපෑමක් සිදුනොවන බව මොවුන්ගේ අදහසයි. මේ අයුරින් විදුලිය නිපදවීම සදහා මොවුන් යොදාගෙන තිබෙන්නේ එයටම සුවිශේෂි ඇන්ටනාවකි. මෙය හදුන්වන්නේ අල්ට්‍රාවයිඩ්බෑන්ඩ් (Ultrawideband) වශයෙනි. විද්‍යුත් චුම්භක තරංග මෙම ඇන්ටනාවේ ගැටුණු විට විදුලිය උත්පාදනය වේ. 


මෙලෙස නිපදවන ලද ඇන්ටනාවෙන් එකවර කාර්යයන් කිහිපයක් සිදුකරගත හැකිය. උදාහරණයක් වශයෙන් රූපවාහිනී යන්ත්‍රයක් ගතහොත් මෙම ඇන්ටනාවෙන් නිපදවන විදුලියෙන් රූපවාහිනි යන්ත්‍රය ක්‍රියාත්මක කරගන්නා සේම එම ඇන්ටනාව හරහා අවශ්‍ය චැනල් නැරඹීමේ තරංග සංඛ්‍යාතයන්ද ලබාගත හැකිය. දැනටමත් ජොජියාටෙක් ආයතනයේ පර්යේෂකයෝ මෙම ඇන්ටනා භාවිතයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන රැහැන් රහිත සංවේදක (wireless sensors) නිෂ්පාදනය කර අවසන්ය. ඔවුන්ගේ දැන් තිබෙන මූලිකම අභිප්‍රාය වන්නේ මෙම ඇන්ටනා භාවිතයෙන් වැඩි විදුලියක් නිපදවා ගැනීමයි. ඒ සදහා ඔවුන් මේවනවිටත් පර්යේෂණ සිදුකරමින් පවතී. 

Ultrawideband ඇන්ටනාව සාමාන්‍ය රූපවාහිනි ඇන්ටනාවක මෙන් ලෝහ කූරු සහිත එකක් නොවේ. මෙය නම්‍යශීලි ප්ලාස්ටික් තැටියක් මත නිර්මිත ලෝහමය රටාවකි. ඒනිසා මෙහි තිබෙන විශේෂත්වය වන්නේ අපට අවශ්‍ය විදුලි උපාංගයේ කොටසක් වශයෙන්ම මෙය නිෂ්පාදනය කළ හැකි වීමයි. ඒ අනුව අනාගතයේදී වෙළදපොළට එන බොහෝ විදුලි උපාංගවලට මෙම ඇන්ටනාව නැතුවම බැරි ගැජට් එකක්වනු නිසැකය.


නැවත ආරෝපණය කළ හැකි බැටරි සහිත ජංගම දුරකථන, කැමරා, ඔරලෝසු ආදියට මෙම උපකරණය මහත් අස්වැසිල්ලක්වනු ඇත. මන්ද බොහෝ දෙනෙකුට ගැටළුවක් වී ඇත්තේ මෙම බැටරි බැසයාමයි. නිවසින් පිට දුරබැහැර ගමනක් ගියහොත් ජංගම දුරකථනය, කැමරාව ආදියෙහි බැටරිය බැසයාම සෑමදෙනෙකුටම පාහේ මහත් හිසරදයකි. බැටරිය බැසයාමෙන් එය නැවත චාර්ජ් කරගැනීමටද පැය දෙකකට අධික කාලයක් ගතවේ. කාර්යබහුල ලෝකයේ පහසුකම් අවශ්‍යව තිබියදී මෙම බැටරිය අපට කරන හානියෙන් මිදීමට Ultrawideband ඇන්ටනාව මහත් අස්වැසිල්ලක් වනු ඇත.

කෙසේවුවද Ultrawideband ඇන්ටනාව සහිත විදුලි උපකරණ අද හෙටම වෙළදපොලෙන් අපට මිලදී ගන්න බැරිවේවි. මොකද මේ ගැන පර්යේෂණ හා වැඩිදියුණු කිරීම් තවදුරටත් සිදුවෙන නිසා. මේ ක්‍රමය වැඩිදියුණු උනාම අපිට ගිනි ගණන් විදුලි බිලට ගෙවන්න ඕන වෙන එකක් නෑ. හැබැයි ඉතිං මේක වෙනකන් අඩුම තරමෙ තව අවුරුදු දහයක් වත් බලාගෙන ඉන්න වෙයි. එහෙම හරි කමක් නෑ ආසියාවෙ වැඩිම විදුලි බිලක් ගෙවන ආශ්චර්යමත් රටේ ගෙවල්වල විදුලිබිල අඩුවෙනවනම් නේද?


-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Read More
Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger