IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

"හයේ සටන" සරසවි ඉතිහාසයේ පෙරළිය

Post by Unknown | at 2:25 PM | 1 Comments | Categories

"හයේ සටන"

ඉතිහාසයේ සංධිස්ථානයක් සනි‍ටුහන් කරමින් ලංකාවේ සරසවි ඇදුරන් අරගල කරමින් සිටින්නේය. එය හුදු වැ‍ටුප් පමණක් අපේක්ෂිත අරගලයක් නොවීම තවත් සුවිශේෂී ය.වැ‍ටුප් ඉල්ලීමට අමතරව 6% ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන ලෙස කරන ඉල්ලීම ඔවුන්ගේ තවත් සටන් පාඨයකි. වඩා ජනප්‍රියව ඇත්තේ මෙම සටන් පාඨයයි. මෙය ලාංකීය ඉතිහාසය තුළ සුවිශෙෂී අවස්ථාවක් වන්නේ සාමාන්‍යෙන්  සිසුන්ගේ සටන් පාඨයක් විය යුතු මෙය ඇදුරන් විසින් තමන් සතු කර ගැනීමය.

කෙසේ වුවද අපි මාස දෙකක් තිස්සේ ගෙදරය.මෙයට වගකිවයුත්තො කවුරුන්ද? වැඩ වරන ආචාර්යවරුන්ද? ඉල්ලීම් දෙන්න බෑ කියන ආණ්ඩුවද?

ජාතිකවාදී (මුද්‍රණ දෝෂයකි. මැද ඇති '' අකුර ලොප් විය යුතුය.) නලින්ද සිල්වා සහ ITN (Your Family Channel) හිතවතුන් පවසන්නේ අචාර්යවරුන්ට පිස්සු බවයි. FUTA පෙන්වා දෙන්නේ අන්තර්ජාතික පිළි ගැනීම අනුව රටක අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් වෙන් කල යුතු බවයි. ආණ්ඩුවේ නාස්තිකාර වියදම් නවතා දැමීම තුළින් එය සිදු කළ හැකි බවයි.නැවත ආණ්ඩුව පවසන්නේ එයනම් කෙසේවත් කළ නොහැකි බවයි.

මේ කරන්නට බෑ කියන්නේ 6% ක් වෙන් කිරීමද? නැතිනම් හොරකම, නාස්තිය, දූෂනය නැති කිරීමද? ආණ්ඩුව බැහැයි කියන්නේ දෙකමය. 6%ක් අධ්‍යාපනයට වෙන්කර දුන්නද නාස්තිය නම් ඔවුන් නවත්තන්නේ නැති බව විශ්වාසය. මන්දයත් අප ජීවත්වන සමාජ ක්‍රමය තුළ එවන් දෙයක් සිදුවිය නොහැකි නිසාය. හොරකම, දූෂණය, වංචාව මේ ක්‍රමය තුළ ආවේණික වූවකි. මැති ඇමති වරුන්ට, නිළධාරී පැළැන්තියට, සාමාන්‍ය ජනතාවට ක්‍රමය විසින්  ඒවා ජානමය වශයෙන් උරුම කර දී ඇත්තේය.

වංචාව, මැරකම, හොරකම නැතිනොවන බවට සාධක වන්නේ තවමත් ලාංකීය ජනතාවගේ පෙරගමන් කරුවෝ නායකයෝ වන මර්වින්ලා, සරණලා, S.B, බන්දුලලා, දුමින්දලා වැනි ජන නායකයින්ය. මේ ආණ්ඩුව තුළ ඔවුන් තවදුරටත් පවතිනු ඇති අතර තවත් අලුතින් දහස් ගණනක් බිහිවනු නිසැකය. (කොයි ආණ්ඩුවේත් මෙහෙමය.). මෙය ඒ ඒ පුද්ගලයාගේ ප්‍රශ්ණයකට වඩා ධනේශ්වර ක්‍රමයේ ප්‍රශ්ණයක් ලෙස අප වටහා ගත යුතුයි.(ධනේශ්වර ක්‍රමය යන වචනය අවුල් වගේ යැයි සිතන අය තමන් කැමති වචනයක් ආදේශ කරගත්තාට කම් නැත. මන්දයත් ලාංකීය ජනතාවට එවැනි වචන වලට ආසාත්මිකතාවක් දක්වන බැවිනි)

ඕව මේව මොනව වුනත් අපි තාමත් ගෙදරය. ඉතින් ශිෂ්‍යයෝ ලෙස අපි කුමක් කරමුද? ආචාර්යවරුනි, වර්ජනය අතහැර ඔය තියෙන විදිහකට අපිට උගන්වා අපිව පිටත් කරන්න යැයි ඉල්ලමුද? (ඊලඟට එන්න ඉන්න එවුන්ට මොනව වුණත් අපිට මොකද!)  

නැතිනම් අපද,  6 ක් දියව්!, කියමුද?

මෙම ක්‍රමය විසින් මිනිසා දිනෙන් දින අවුලට වියවුලට ඇදගෙන යන බවට මාක්ස් පැවසූ දෑ මා පෞද්ගලිකව විශ්වාස කරමි. ඉතිහාසය දෙස බලන විට c.w.w කන්නංගර මහතා නිදහස් අධ්‍යාපනය රටට ලබා දුන් දා සිට මේ දක්වා බලයට පත් සියලුම ආණ්ඩු සිදු කර ඇත්තේ එය ටිකින් ටික කප්පාදු කිරීම මිස බිඳකුදු සංවර්ධනය කිරීම නොවන බව අපට අවබෝධ වේ. එය ඉදිරියටත් එසේමය. මෙය ක්‍රමයේ හැටිය. ඒ අනුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමයද  තවත් සංවර්ධනය වීමක් නොව අගාධයට ඇද වැටීම ඉදිරියටද අඛණ්ඩව සිදු වනු ඇත. නමුත් මේ ක්‍රමයේ හැටියැයි කියා නිහඬව බලා සිටිය යුතුදඑසේ වන්නේ නම් එය නරුමවාදයයි. ක්‍රමය විසින් අධ්‍යාපනය අනිවාර්යෙන් අගාධය කරා ඇදගෙන යනු ලැබුවද එය හැකිතාක් පමාකර හැකිතාක් පිරිසකට අප ලැබූ වරප්‍රසාදය උරුමකර දීම අප සතු යුතුකමයි, වගකීමයි.

එමනිසා අපද අචාර්යවරු සමග එක පෙළට සිට හඬ නගා කිව යුතුව ඇත.  අපිට 6 ක්  දියව්! ( එය කර්කශ යැයි සිතෙන අය 'අපිට 6ක් ඕනා' කිව්වද කම් නැත. 6ක් අවශ්‍ය වීමම සෑහෙන්න දෙයකි.)

තවම අප සටන සඳහා අචාර්යවරුන් සමග එක පෙළකට පැමිණ නැත්තෙමු. ප්‍රශ්ණය වන්නෙ එලෙස එක පෙළකට පැමිණිය හැකිද යන්නයි. අද 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්නයැයි ඉල්ලමින් සටන් වදින්නේ ආචාර්යවරුන්ය. සිසුන් කරනුයේ ඔවුන්ගේ සටනට සහයෝගය ලබාදීමයි. අන්තරේ උද්ඝෝෂනය කරනුයේ "ආචාර්යවරුන්ගේ ගැටළු විසඳා වහා සරසවි විවුර්ත කරනු" යන සටන් පාඨය යටතේය. 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු බව ඔවුන් පැවසුවද එහි බර මදිය. මෙය අන්තරය විසින් තමන්ගේද ප්‍රධාන සටන් පාඨයක් කර ගත යුත්තකි. මේ සඳහා FUTA සහ අන්තරය එක් වේදිකාවකට පැමිණිය යුතුය. ආරාධනා ලැබ අනෙකාගේ වේදිකාවට ගොඩ වීම නොව දෙපිරිසම එක් වී වේදිකාවක් තනා එයට එකට ගොඩවිය යුතුය. එය සිදුවුවහොත්  "හයේ සටන" ශක්තිමත් සහ වේගවත් වනු ඇත.

ඇත්ත ඇත්ත! FUTA එකට අන්තරේ සමග අත්වැල් බැඳ ගැනීමේදී ඔවුන්ට ප්‍රශ්ණ ඇති විය හැක. එය සැබෑ බියකි. FUTA බිය වන්නේ අන්තරේ සමග එකතුව වූ විගස ITN  ප්‍රමුඛ මාධ්‍ය විසින් ගොඩනගන අවලාද හමුවේ ජනතාව තුළ ඇතිවන අවබෝධය සම්භන්ධයෙනි. සහ තම සංගමය  තුළ එවන් තීරණයකට එකඟතාවක් ගොඩනගා ගැනීම සම්බන්ධයෙනි. දෙවැනි කරුණ සම්පූර්ණ කළ හැකි වෙතොත් පළමු කරුණ එතරම් සැලකිය යුත්තක් නොවන වග මාගේ පෞද්ගලික හැඟීමයි.

මගේ පෞද්ගලික මතය වන්නේ ලංකාවේ මහජනතාව FUTA ගැන, අන්තරේ ගැන හෝ 6% ගැන සිතන්නේ කුමක්ද යන්න එතරම් වැදගත් නොවන බවයි. මහජනතාව දැනුවත් නොවන බවට හා දැනුවත් කිරීම පලක් නොවන බවට හොඳම නිදසුන් වන්නේ මර්වින්, S.B, දුමින්දලා තියෙන තරමක් කුපාඩි වැඩ පෙනි පෙනී කරමින් අපේ රටේ නායකයන් ලෙස වඩ වඩා තහවුරු වීමයි. මෙම ක්‍රමය තුළ ජනතාවගෙන් ඇති පළක් නැත. අවශ්‍ය වන්නේ බලයයි. එම බලය යනු කිසිසේත්ම ජනතා බලය නම් නොවේ. මුදලේ බලය, තුවක්කුවේ බලය, මාධ්‍යයේ බලයයි. මේවා ඇත්නම් ජනතා බලය ඇත්තේද එතැනය.

FUTA හෝ අන්තරය සතුව ඉහත කිසිදු බලයක් මහාපරිමාණයෙන් ඇතැයි විශ්වාස නොකරමි. ඒවා ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන ආණ්ඩුව සතුවයි. හැකිතාක් මෙම බලයට අභියෝග කිරීම අප කළ යුතු කරුණයි. ආචාර්යවරු වැඩ වර්ජනය කරමින් කරන්නේ එයයි. තවත් පියවරක් ඉදිරියට තබමින් උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාවෙන් ඉවත් වී සිදු කරනුයේ ආණ්ඩුවේ බලයට අභියෝගකිරීමයි. අන්තරය කොළඹදී පාරට බැස මග අවුරා වාහන ගමන නවතා ලාංකීය සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරමින් සිදු කරනුයේ එයයි. තවදුරටත් මාධ්‍ය තුළ එය දවසේ ප්‍රධාන පුවත බවට පත් කරමින් සිදු කරනුයේ ආණ්ඩුවට අභියෝග කිරීමයි. ජයග්‍රහණය ලඟා කර ගත හැක්කේ එලෙස ආණ්ඩුවේ බලය අභියෝගයට ලක්කිරීමෙන් මිස ජනතාව දැනුවත් කිරීමෙන් නොවේයැයි මගේ අදහසයි. සෑම විටම පොදු ජනතාව එකතු වන්නේ බලයත් සමගය. බලය ඇති තැනටය. ආණ්ඩුවේ බලය අභියෝගයට ලක්වනවා පෙනෙනවිට මිනිසුන් එලෙස අභියෝග කරන්නන් දෙස ගෞරවයෙන් බලයි. FUTA උත්තර පත්‍ර පරික්ෂාවෙන් ඉවත්වන විට, අන්තරේ පොලීසියත් සමග ගුටි ඇන ගන්නවා දු‍ටු විට සිදු වන්නේ මෙයයි. ඔවුන්ට අභියෝග කිරීමට සිතන්නවත් බැරි ආණ්ඩුවේ ආයතන වලට FUTA, අන්තරේ අභියෝග කරයි. එම බලය වටා අවිඥනික බැඳීමක් ජනතාව තුළ ඇති වෙයි. මේ නිසා  අප සටන් කිරීම සඳහා සටන් සගයන් එකතු කරගැනීම විනා මහජනතාව දැනුවත් කිරීමෙන් පලක් නොවන බව මගේ හැඟීමයි. අපට අවශ්‍ය වන්නේ එකට වැද අරගලයට සහභාගී වන්නන් මිස මේ අරගලය හොඳ යැයි කියා තමන්ගේ වැඩක් කරගන්නා අය නොවේ.

මේ සටන සුවිශේෂී වන්නේ පෙර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අන්තරේ පෙළපාලි යන විට මීට පෙර ඊට එකතු නොවූ පිරිසක් මෙම සටන නිසා ඉදිරියට පැමිණ තිබීමයි. එය හොඳ ප්‍රවණතාවකි. එය සිදු වූයේ මෙදා අරගලයට බැස්සෙ ආචාර්යවරුන් වන නිසාය. හේතුව කුමක් වුවද ඔවුන් අවංකව මේ සඳහා වැඩ කරනු දැකගත හැකිය. අවශ්‍ය වන්නෙ එයයි. කවුරුන් හෝ අවංකව වැඩ කිරීමයි. මෙම සටන විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ පවතින ඇතැම් පසුගාමී ත්ත්වයන් පහ කිරීමේ අවස්ථාවක් කර ගැනීමට අන්තරයට හැකිය. ඒ සඳහා ඔවුන්ගේ සෑබෑ වුවමනාවක් ඇතැයි විශ්වාස කරමි.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙම 6% සටන් පාඨය සිසුන් අතට ගත යුතු බවයි. අන්තරයට එය නිළ වශයෙන් කිරීමේ හැකියාව පවතී. එවිට සටන සඳහා සිසු සහභාගීත්වය වැඩි වනු ඇත. "හයේ සටන" අචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ සාමූහික සටන විය යුතුව ඇත

                                              සුචින්තන දසුන්
                                              දෙවන වසර
                                              පේරාදෙණිය විශ්ව විද්‍යාලය 
  • ඔබටත් මෙවැනි ලිපි නිර්මාණයක් හෝ උපසිරසි නිර්මාණයක් අප අඩවියේ පල කරවා ගැනීමට පහත ඊමේල් ගිණුම මගින් අප සම්බන්ධ කරගන්න.
         contact.sirasi@gmail.com

1 comment:

  1. නියම ලිපියක් මචං...මම නම් හිතන්නේ මේ කාලෙට ගැලපෙන්න මේ වගේ ලිපි තයෙන්න ඕනේ..මගේ මතයේ හැටියට ආණ්ඩුවේ හොර වැඩ නැවැත්තුවොත් 6% දෙන එක මහ දෙයක් නෙවෙයි...well done

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger