IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

විසංයෝජනය යනු කුමක්ද?

Post by Unknown | at 5:58 AM | 4 Comments | Categories
විසංයෝජනය යනු කුමක්ද?
What is Deconstruction?

"Deconstruction" නම් සංකල්පය මූලාශ්‍රකොටගෙන විසංයෝජනවාදී විචාරය යනුවෙන් සාහිත්‍ය විශ්ලේෂණ ක්‍රමයක් බිහිවිය. පසුගිය දශක දෙක තුළදී මේ විචාර ක්‍රමය බටහිර ලෝකයේ සාහිත්‍ය අධ්‍යයනය උඩයට පෙරළීමට සමත්විය. නවීන සාහිත්‍ය විචාර කලාව සාහිත්‍ය ශික්ෂණය මැනවින් වටහා ගැනීමට විසංයෝජනවාදය පිළිබද අවබෝධයක් තිබීම වැදගත් වේ. ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකුවන “ජැක් ඩෙරිඩෝ“ ගේ කතෘත්වයෙන් එළිය දුටු මේ විචාර සංකල්පය බෙහෙවින් සංකීර්ණය. අවබෝධ කර ගැනීමට අපහසුය. භාෂාවේ අනන්‍යතාවය, භාෂාව හා සන්නිවේදනය, භාෂාවේ ශක්‍යතාවයන් හා සීමාවන් පිළිබද ගැඹුරු දාර්ශනික විමර්ශනයක යෙදෙමින් ඩෙරිඩෝ මේ සංකල්පය ඉදිරිපත් කළේය. 

  විසංයෝජනවාදය දාර්ශනික විතර්කයකි. බටහිර රටවල දාර්ශනික සම්ප්‍රදායන්ට මූලභූතවූ ප්‍රතිෂ්ඨාව පිළිබද සියුම් විග්‍රහයකි. මේ දාර්ශනික ප්‍රතිෂ්ඨාව හා එයට එරෙහිව ජැක් ඩෙරිඩෝ නගන විවේචනය පරීක්ෂණයකට හසු නොකොට විසංයෝජනවාදී විචාරය පිළිබද යථා අවබෝධයක් ඇතිකර ගැනීම අපහසුය. ඩෙරිඩෝ  පවසන ආකාරයට සෑම ලේඛණයක්ම එක්තරා ද්විත්වයක් පදනම් කරගෙන නිර්මිතව ඇත. උදාහරණ ලෙස ආත්මය හා ශරීරය, සංස්කෘත හා ප්‍රකෘතිය, අදුර හා එළිය, සොම්නස හා දොම්නස එබදු ද්විත්වයෙන් පවතී. භාෂාත්මක ලේඛනයන්ට මූලභූතවූ මෙවැනි ද්විත්වයන් බිදදමා ඒ භාෂාත්මක සංකථනයෙහි යථා ස්වභාවය අනාවරණය කිරීමේ වැදගත්කම ජැක් ඩෙරීඩෝ පෙන්වාදෙයි. ඒ අනුව විසංයෝජනය යන්න පහසුවෙන් අවබෝධ කරගැනීමට අපහසු සංකල්පයකි.

එය වඩා හොදින් අවබෝධ කරගැනීම සදහා සාහිත්‍ය නිර්මාණයක් අනුව යාම, ඒ ඔස්සේ අවබෝධ කරගැනීම  වඩාත් උචිත යැයි සිතේ.  ඒ නිසා මින් පසු මා අවධානය යොමුකරන්නේ විසංයෝජනාත්මක සාහිත්‍ය නිර්මාණයක්  කියවීමටය. 

විසංයෝජනය කිරීම සදහා යොදාගන්නා සාහිත්‍ය නිර්මාණය පිළිබද සටහනක්

     මේ සදහා මම තෝරාගනු ලැබුවේ නිශ්ශංක විජේමාන්නගේ “දළ රෙදි හා කසී සළු“ නම් කෙටිකතාවයි. මෙය ඉතා සෙමින්, සැළකිල්ලෙන් කියවනවිට විසංයෝජන සංකල්පය හා ගැළපෙන බව සිතුණි. දළ රෙදි හා කසී සළු කෙටිකතාව ආරම්භ වන්නේ මෑත වර්තමානයේ සිටය. නමින් ඔහු ඇතීනා මුදලාලිය. අවුරුදු 14කට පසු ඔහු ගියේ කුඩාකල තමන්ගේ සිත සුවපත් කළ, තමන්ට අමතකවුණු ඒ දයාබර සෙනෙහස සොයාගෙනය. දිගුකලක් තිස්සේ නොලැබුණු ඒ සෙනෙහස සොයාගෙනය. ඒත් ඔහු සෙවූ, ඔහුගේ නෙත ප්‍රාර්ථනා කළ රුව එහි නොවීය. ඒ වෙනුවට එතන සිටියේ තරුණ ගැහැණියකි. ඒ සමග ඔහුගේ මනස මෑත අතීතය, ඈත අතීතය සහ වර්තමානය සමග දෝලනය වෙමින් කතාව ඉදිරියට ගලා යයි.

   කුඩා අවධියේ අගහිගකම් සමග පාසල් ගිය ඔහුට බොහෝ කම්කටොළුවලට මුහුණදෙන්නට සිදුවිය. පාසලේ අනිත් ළමුන් දිග කලිසම් ඇන්දද ඔහුට අදින්නට සිදුවුණේ කොටකලිසම්ය. පාසල් ළමුන්ගේ අනුකම්පාවලින් බිංදුවට බැස තිබූ ඔහුගේ ආත්මාභිමානය ඇතිකරන ලද්දේ ඇය විසිනි. තම මියැදුණ මවගේ ආදරය ලැබුණේ ඇයගෙනි. ඇය සන්නාලි  කාන්කාවකි. ඔහුට ඈ හමුවූයේ ඔහුගේ කොටකලිසම ලොකුකර ගැනීමට ගියවිටය. අවසන සිදුවූයේ ඇය විසින් අලුත් කලිසමක් ඔහුට මසාදීමය. මේ අයුරින් ඔහුට සන්නාලි මවගේ ආදරය සෙනෙහස ලැබුණි.

     මේ සෙනෙහස ලැබීමට ඔහුට හැකිවුණේ පාසල හැරයනතෙක් පමණි. ඉන්පසු සන්නාලි මවගෙන් සමුගන්නා ඔහු  විවාහ ජීවිතයට එළඹුණද ඒ කසාදය කෙළවර වන්නේ දික්කසාදයෙනි. දරුවත් සමග තනිවන ඔහු දරුවා බෝඩිම් කර ඒ  ස්නේහය සීපත් කළේ කුළියට ගත් බිරියන් සමගය. දික්කසාදය වූ බිරිද ටික කාලයකින් මියයන අතර ඒ සමගම කුළියට බිරියන් ගැනීම නතරවිය.

       ඉන්පසුව තමන්ගේ ව්‍යාපාරයවන ඇතීනා ගාමන්ට්හි සේවය කරමින් දින ගත කරන ඔහුට හදිස්සියේම කුඩාකල ලැබුණු ආදරය සිහිපත් වේ. ඉන්පසුව ඔහු සන්නාලි මව දැකබලා ගැනීමට යයි. එහෙත් කාලය ගෙවීගොස්ය. තමන් ආදරය කළ  සන්නාලි මව මියගොස් වසර පහකටත් වැඩිය. දැන් ඒ මව වෙනුවට එතන සිටින්නේ වෙනත් ගැහැණියකි. ඔහු ඇයකෙරෙන් තමන් ආදරය කළ සන්නාලි මව දකී. ඇගේ ක්‍රියාකලාපයෙන් යටපත්වූ ආදරයක උණුසුම සොයයි. මේ අයුරින් කෙටිකතාව සාරාංශ කළවිට මෙහි "විසංයෝජන" සංකල්පය අඩංගුවේදැයි සිතේ. එහෙත් මෙහි සරල කතාව නොකියවා එය සමීපව කියවීමෙන් නොකියවූ සංඥා හමුවේ. මීළගට අපි ඒ පිළිබදව විමසා බලමු.

කෙටිකතාව තුළ විසංයෝජනවාදී විචාරය ක්‍රියාත්මකවන ආකාරය

      මෙම කෙටිකතාව සරළ අදහසින් ගත්විට එයින් ගම්‍යවන්නේ මවගේ සෙනෙහස අහිමිවූ විට ඒ සෙනෙහස සන්නාලියකගෙන්  ලබා ගන්නා දරුවෙකු, පාසල් අධ්‍යාපනයෙන් පසුව ඇගෙන් වෙන්ව, නැවත අවුරුදු ගණනාවකට පසුව ඇය දකින්නට එන කතාවය.

   ස්වකීය කතාව "දළ රෙදි සහ කසී සළු" යනුවෙන් නම් කිරීමෙන් ලේඛකයා ආරම්භයේදීම පාඨකයා පාඨනය පිළිබද බැරෑරුම්  තත්වයකට හෙළයි. "දළ රෙදි සහ කසී සළු" යන නම පාඨකයාට කිහිප ආකාරයකින්ම කියවිය හැකිය. බැලූ බැල්මට, මෙය වාච්‍යාර්ථයෙන් ගත්විට ‘සහ‘ යන නිපාතයෙන් සම්බන්ධ කර තිබුණද දළ රෙදි සහ කසී සළු යන්නෙන් රෙදි පිළිබදව, එනම් එකම අර්ථයක් ප්‍රකාශවන බව සිතේ. නමුත් මෙම නමින් රූපකාර්ථයක් හැගවේ. එනම් රළු බව හා සියුමැලි බව පිළිබදව  අදහසක් ඉන් ගම්‍යවනවා යැයි සිතිය හැකිය. දුක්බර ජීවිතයක් හා සැපවත් ජීවිතයක් පිළිබද අදහසක් ලබා දෙනවා විය හැකිය. කතුවරයා ස්වකීය කෘතියට මෙම නම යොදන්න ඇත්තේද පාඨකයන් වශයෙන් අපව සංඥා රූපමය භාවිතයෙන් අපහසුවට  හෙළන්ට විය හැකිය. ඒ අනුව මේ නම යෙදීම තුළින්ම කතුවරයා කෙටිකතාව යටි කියවීමක් සිදුකරයි. කෙටිකතාවේ කියවීම පිළිබද පාඨකයාට ඉගියක් සපයයි. ඒ අනුව ඔහු කතාව ආරම්භයේදීම අර්ථමය හරඹයේ යෙදෙන්නට පටන් ගනී. කෙටිකතාව ආරම්භයේදී මෙසේ සදහන් කර ඇත.
   "...සෑරුණු ගැඹුරු අගල් විඩාබර සැමරුම් මෙනි. කලකට ඉහත පැමිණි ගිම්හානය විසින්දෝ වියළි තණ පත්‍ර පුළුස්සා දමා තිබිණි"

     කතුවරයා කෙටිකතාව ආරම්භයේදීම තම අභිමතය උදෙසා තම වදන් හසුරුවයි. ඔහුගේ මතකයන්ද ඔහුට ගෙන එන්නේ විඩාබර සැමරුම්ය. ඒවා සිත අභ්‍යන්තරය පසාරු කර‍ගෙන වේදනා ගෙන එයි. සන්නාලි මව හා එක්ව ගෙවූ ඒ සුන්දර වසන්ත කාලය  ගෙවීගොස් දැන් ඔහුගේ දිවිය කර්කශවී ඇත. කටෝරවී ඇත. ගිම්හානය එළඹී ඇත. ගිම්හානය විසින් වියළි තණපත්‍ර පුළුස්සා දමා තිබෙන්නාක් මෙන් ගෙවූ කාලය විසින් ඔහුගේ සැමරුම් දවා ඇත. මේ අයුරින් කතුවරයා ඔහුගේ සිත දැවෙන, පෙළෙන ස්වභාවය  මනාව නිරූපණය කර ඇත. කතාවේ තවත් තැනක් මෙසේ සදහන් වේ.

"එල්ලා තැබූ නාම පුවරුවේ තීන්ත පතුරු ගැළවෙමින් මළකඩවලට ඉඩ දුණි. ‘අසංකා ටේලර්ස්‘ කුමක්දෝ හේතුවකට ඔහුට මතක් වුණේ කුරුළු පිහාටුවකි. එය පරණ නිදන්ගත මතකයකි. ඒ පිහාටුව තිබුණේ අතහැර දමා ගිය කූඩුවකය."

       මේ විස්තරය තුළින් කතුවරයා බොහෝ දේ පවසයි. ඔහුගේ මතකයද එල්ලා තැබූ නාමපුවරුව තරම් පැරණිය. ඒ මතක සටහන් බොදවී ගියද නාමපුවරුවේ තීන්ත පතුරු ගැළවෙමින් මළකඩවලට ඉඩ දුන්නාසේ සිතද ඒ මතකයන්ට ඉඩදී ඇත. බැලූ බැලුමට මෙය සාමාන්‍ය සිද්ධියකි. නමුත් එය සමීපව කියවීමෙන් මෙහි සදහන් සිද්ධි රූප අලංකාරෝත්තිමය සංඥාවන් බවට පෙරළේ. එයට හේතුව ඔහුද කූඩුව හැරගිය කුරුල්ලා හා සමානවන නිසාය. එනම් මෙහිදී කථකයා එක එල්ලේම මොහුගේ හා සන්නාලියාගේ දුරස්වීම නොපෙන්වා සංඥා රූප ආශ්‍රෙයන් ඒවා පාඨකයාට අවබෝධ කර ගැනීමට ඉඩ සලස්වයි.

      කතුවරයා බොහෝ අවස්ථාවල තමන් ප්‍රකාශ කරන අදහස ඍජුවම නොපවසයි. එය බුද්ධිමත් පාඨකයාට අවබෝධ කරගැනීමට  ඉඩ සලසයි. මෙම කෙටිකතාව තුළින් සමාජය කියවීමට ඉඩහසර ලබාදෙයි. එක් උදාහරණයක් ලෙස කුඩා පාසල් ශිෂ්‍යෙයකුගේ  මනස හා යාවියයුතු ආකාරයසියුම්ව පෙන්වා දෙයි. එය කතුවරයා ස්වකීය පරිකල්පනයෙන් ඉදිරිපත්කර ඇත්තේ මෙසේය.

"මේ මල ඇදලා දෙන්න දරුවො"
තමන්ට පැවරූ හැම කුඩා වැඩයක්ම ඇය සතුටින් ඉටුකර දුන්නේය.
"ෂහ් හරි ලස්සනයි"

       පොතපතින් ලද දැනුමක් නොතිබුණද ඈ දරුවන්ගේ මනස හා ක්‍රියා කළයුතු ආකාරය දැන සිටියාය. දරුවන්ගේ ක්‍රියාකාරකම්වලට අගය කිරිමක් ලබාදුන් විට ඔවුන්ගේ පෞර්ෂය, ආත්ම විශ්වාසය ගොඩනැගෙන බව ගුරු අත්පොත්වල පවා සදහන් වේ. ඈ එය තම ජීවන අත්දැකීම් සමග ලැබුණ දැනුමෙන් ඉටුකළාය. ජීවිතය ඉරෙනකොට, මදිපුංචිකම් වෙනකොට නැවත මසා පිරිමසා ජීවත්වෙන  අනුපිළිවෙල ඔහු ඉගෙන ගත්තේ ඇයගෙනි.

      මෙලෙස කතුවරයා සංඥා රූප යොදාගනිමින් අපූරුවට බස හසුරුවා ඇති අතර කතාව අවසානයේ ප්‍රබල සංඥා රූපමය වාග් මාලාවක් යොදා ඇත. ඔහු එය එක එල්ලේ ප්‍රකාශ නොකරයි. 

"මම මේ තරම් දවස් තනියම හිටියෙ කොහොමද කියලා. දවල්ට මහනවා, දැන් මහත්තයා වගේ හවසට මහත්තුරු එනවා... කඩුල්ල පැනලා. ඉරිච්ච තැන් මහන්ඩ"

     මේ මගින් කතාව නොපෙනෙන ඉසව්වකට ගෙනයයි. පවත්නා සමාජ පසුබිම තුළ හුදකළා වූ කාන්තාව  අසරණවන අයුරු ඉතා සියුම්ව පෙන්වා දෙයි. සන්නාලි මවගේ වියෝවත් සමග හුදකලාවන ඇගේ දුව අවසන සමාජයේ ඉතා පහත් යැයි සම්මත වෘත්තියක නියැලේ. එය ඉතාමත් අපූරුවට කථකයා පෙන්වා දෙයි. එනම් "දැන් මහත්තයා ආව වගේ හවසට මහත්තුරු එනවා... කඩුල්ල පැනලා, ඉරිච්ච තැන් මහන්ඩ" ලෙසය. මෙලෙස කතුවරයා ඉතා අපූරුවට අවශ්‍ය අදහස් පාඨකයාට පෙන්වීමට වදන් හරඹය යොදාගෙන ඇත.

    සමස්ථයක් ලෙස ගත්කල සම්පූර්ණ කථාවේම ව්‍යුහය ගොඩනැගී ඇත්තේ කාල හරඹය මත පිහිටාය. ඒ අතීත හා වර්තමාන කාලය පදනම්  කරගෙනය. වර්තමානයෙන් අතීතයට පිවිසෙන ආකාරයත් නැවත අතීතයෙන් වර්ථමානයට පිවිසෙන ආකාරයත් කතුවරයා ඉතාමත් අපූරුවට දක්වා ඇත. එක් උදාහරණයක් ලෙස මෙසේ දැක්විය හැකිය. 
"...ආවනම් නවත්තගෙන මහන්ඩ පුරුදු කරන්ඩයි හිටියෙ. කෝ ආවයැ... දැන් මොනවද කරන්නෙ"
"තාම මුකුත් නෑ"
ලෙස වර්තමාන සිද්ධියක සිට ඈත අතීතයට මෙසේ ගමන් කරයි.

"ඒ දවස්වල..." "ඔහු කල්පනාවේ ගිලුණි." "ආවෙ නෑ මේ ටේලර් සාප්පුවට කිසි කෙනෙක්"
   මේ ආකාරයෙන් කතාව පුරාවටම අතීත අනාගත කාල මාරු කරමින් කතුවරයා අපූරු කාල හරඹයක යෙදී ඇත. මෙහි ඒ දවස්වල  යනුවෙන් ආරම්භ කරන වාක්‍යයේ ‘ඒ‘ යන වචනය තද කළු අකුරින් මුද්‍රණය වී වාක්‍යයේ මුලින් ලැමිණීම නිසා එම වැකියේ ආධිපත්‍ය දරණ වචනය බවට  එය පත් වෙයි. ඒ දවස්වල යනුවෙන් සදහන්වී තිබීමෙන්ම අතීත සිදුවීමකට මුලපුරන බව අවබෝධවේ. එසේම මෙහි තවත් විශේෂයක් වන්නේ එක් දර්ශනයක් කපා තවත් දර්ශනයක් මතු කිරීමේදී කතුවරයා පාඨකයාගේ අවධානය නොබිදෙන ආකාරයට ඉතා සියුම්ව කාල අවකාශය භාවිතා කිරීමයි.

    මේ අනුව සමස්ථ කතාව ඉතා සියුම්ව අධ්‍යයනය කිරීම රචකයා වාග් හරඹයත්, කාල අවකාශයත් ඉතා හොදින් වටහා ගනිමින් කතාව නිර්මාණය කර ඇතිබව අවබෝධ වේ. ඒ අනුව මේ කතාව එක් අතකින් පවත්කා සමාජ පසුබිම පිළිබිඹු කිරීමක් වැන්න. බාහිර යථාර්ථය පෙන්වාදීමක් වැන්න. මෙය සාහිත්‍ය තුළ පවතින සුවිශේෂීතාවයකි. ඒ පිළිබදව ඩෙරිඩාද තර්ක කරයි. ඔහුගේ අදහස නම්; "සාහිත්‍ය පඨිතය පැහැදිළි, කාටත් පෙනෙන, කතෘගේ අභිප්‍රාය සහිත අර්ථය අස්ථාවර කරන උපාංග සහිත පඨිතය තුළම ඇත." මෙම කෙටිකතාව තුළින්ද එකී සැගවුණු විසංයෝජනය සෙවීමට උත්සාහ දරා ඇත.
                                                                  - මදුෂානි වීරවංශ
                                                                    තෙවන වසර
                                                                    පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • මෙවන් වූ ඕනෑම විෂය කෙෂ්ත්‍රයකට අදාල වූ ලිපියක් අප අඩවියෙන් නොමිලේ පළකරවා ගැනීම සදහා පහත ඊමේල් ලිපිනය මගින් අප සම්බන්ධ කරගන්න.
          contact.sirasi@gmail.com

4 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක්...මම හිතනවා ඉදිරියටත් ඔබේ මෙවන්ම වු ලිපියක් මගින් අපව දැනුවත් කරයි කියලා...

    well done...

    ReplyDelete
  2. නියමයි.ගොඩක් අදහස් ගත්ත

    ReplyDelete
  3. ඉතා වැදගත් ලිපියකි. මම මගේ නිබන්ධනයක් සදහා තොරතුරු ලබා ගත්තා... ලෙක්චර් කෙනෙක් වෙලා හිටියොත් මාට්ටු වෙනෝ

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger