IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ලාංකීය සිනමා ශාලාවේ ඛේදවාචකය

Post by Unknown | at 9:06 AM | 3 Comments | Categories

                 ලාංකීය සිනමා ශාලාවේ ඛේදවාචකය




කවුරු හරි ඔබෙන් "සිංහල චිත්‍රපටියක් ඇවිල්ලා‍ තියෙනවා, යමුද බලන්න" කියලා ඇහුවොත් ඔබ ‍දෙන පිළිතුර මොකක්ද? මෙහිදී බොහෝ දෙනෙකුගේ පිළිතුර විය හැක්කේ "අද බෑ මචං", "ඔව්වා බලන්න කම්මැලියි බං", "ඒවා බලලා කාටද බං හරිගියේ", "ඒවයේ තියෙන්නෙ මහ බොළද කතා මචං",‍‍.... වැනි ඒවාය. ප්‍රේක්ෂකයා සිංහල සිනමාව මෙතරම් පහතට දමා කතා කරන්නේ ඇයි? තමා උපන් බිමේ තම මව් භාෂාවෙන් නිපදවෙන චිත්‍රපට ප්‍රේක්ෂකයන් විසින් මෙතරම් දුරට ප්‍රතික්ෂේප කිරීම සදහා බලපා තිබෙන හේතුසාධක මොනවාද? සිනමා ශාලාවේ හැසිරීම මත මෙය  ඉතා පුළුල් ලෙස විග්‍රහ කළ හැකිය. මාවිසින් සිනමා ශාලාවකදී ලත් අත් දැකීම් ඇසුරින්  සකස් කළ මේ ලිපියේ අරමුණ වන්නේ ලංකාවේ සිනමාශාලාවලට අත්වී ඇති ඛේදජනක තත්වය පැහැදිළි කිරීමයි.

සිංහල සිනමාව දැඩි ලෙස පසුබෑම‍ට ලක්වීම සදහා ප්‍රධානවම බලපෑ සාධකයක් ලෙස දැක්විය හැක්කේ දිවයින පුරා විසිරී තිබෙන සිනමාහල්වල ක්‍රියාකාරිත්වයයි. මෙය චක්‍රාකාරව සිදුවන්නකි. එනම් මෙලෙස සිනමාහල්වල තත්වය බාලවීමට හොද නිර්මාණ බිහිනොවීම බලපාන අතර නැවත සිනමාහල්වල අඩුපාඩු නිසා කලාතුරකින් බිහිවන හොද චිත්‍රපටවලින් උපරිම තෘප්තිය  ලැබීමේ අවස්ථාව අපට අහිමි වී යයි. චිත්‍රපට ශාලා වැඩිදියුණු නොවීම නිසා සිංහල සිනමාව විශාල පසුබෑමකට ලක්වී තිබෙන බව මගේ මතයයි. චිත්‍රපට ශාලාවට ඇතුළු වීමට පෙර, ශාලාවට ඇතුළුවීමේදී හා චිත්‍රපටය නැරඹීමේදී, විවේක කාලය තුළදී වශයෙන් කොටස්වලට බෙදා දැක්වුවහොත් සිනමා ශාලාවක් තුළදී අපහසුතාවයන් රැසකට ඔබට ලංකාවේදී මුහුණපෑමට සිදුවේ. මෙවන් අපහසුතා මෙරට සිනමාහලක් තුළදී ඔබත් අත්විද තිබේද?

චිත්‍රපට ශාලාවට ඇතුළුවීමට පෙර විදීමට සිදුවන දුෂ්කරතා

චිත්‍රපටය ආරම්භ වීමට නියමිත වේලාවට කලින් එතනට ගියහොත් ප්‍රේක්ෂකයාට පෝලිමේ සිටීමට සිදුවෙයි. මෙම පෝලිම් දැල්ගසා කොටුකර තිබෙන බැවින් ඒ තුළ සතුන් ලෙස සිරවී ගමන් කිරීමට සිදුවේ. එය හරියට මස් පිණිස මැරීම සදහා ඌරන් පිරිසක් ලොරියකට පටවන්නාක් වැනිය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව කාන්තාවන්ද තෙරපෙමින් මෙම කූඩුව තුළින් ගමන් කළ යුතුය. එය සීගිරි බිතිසිතුවම් බැලීමට යන ගමන මතකයට නංවයි. එහිදී ගමන් කළයුතු වන්නේ තෙරපෙමින් යකඩ දැල්වලින් තැනූ කූඩුවක් තුළින් වන බැවිනි.

මෝටර් රථයකින් හෝ වෙනත් වාහනයකින් සිනමා ශාලාවට පැමිණියහොත් එය නතර කර තැබීමටද වෙනම ගාස්තුවක් අයකරයි. ඇතැම්විට එම වාහන සිනමා ශාලාව ඉදිරිපිට පාරේ නැවැත්වීමට සිදුවන අතර එයටද යම් මුදලක් ගෙවීමට සිදුවේ. එවිට සිදුවන්නේ චිත්‍රපටය නැරඹීමේදී තමාගේ වාහනයේ යම් කොටසක් කවුරුන් හෝ ගලවාගෙන යනු ඇතැයි චිත්‍රපටය පුරාවටම මනසේ හොල්මන් කිරීමයි. මෙම තත්වය නිසා චිත්‍රපටය තුළින් උසස් රසවින්දනයක් ලබාගන්නේ කෙසේද?

චිත්‍රපට ශාලාවට ඇතුළුවීමේදී හා චිත්‍රපටය නැරඹීමේදී සිදුවන දුෂ්කරතා

සිනමා ශාලාවට ඇතුළුවන විට ඔබට දුගදක් දැනේ. එම ගද එන්නේ වැසිකිළියෙන් විය යුතුය. සිනමා ශාලාව තුළ කසලගොඩක් බදුය. පෙර දර්ශනයේ පිරිස් එහි තැන තැන විවිධ දේ දමා අපවිත්‍ර කර තිබේ. සමහර විට කුඩා දරුවන්ගේ මළ මුත්‍ර පවා එහි තිබිය හැකිය.

දැන් චිත්‍රපටය පටන් ගැනීමට ආසන්නය. කනට ඉතා අමිහිරි නාද තුනකින් අනතුරුව ශාලාව අදුරු වේ. ප්‍රථමයෙන් තිරය මත දිගහැරෙන්නේ වෙළද දැන්වීම්ය. නැත්නම් ඉදිරියට පෙන්වීමට නියමිත චිත්‍රපටවල ට්‍රේලර්ස්ය. සමහර දැන්වීම් ඇතැම්විට නිර්මාණය කර තිබෙන්නේ චිත්‍රපට ශාලාවේ සුළු සේවකයෙක් විය හැකිය. මන්ද ඒවායේ තත්වය ප්‍රදර්ශනය කිරීමට තරම් ගුණාත්මක තත්වයක නොමැත. ඒවා බලා හෙම්බත් වීමෙන් අනතුරුව චිත්‍රපටයේ දර්ශනය ආරම්භ වේ.

බොහෝ දෙනා සිනමා ශාලාවට පැමිණෙන්නේ ඉතා සුපැහැදිළි දසුන් සහිත, හොද ශබ්ද පරාසයකින් යුතු චිත්‍රපටයක් නැරඹීමේ අපේක්ෂාවෙනි. නමුත් තිරයේ පෙන්වන රූප බොදවී ගොස්ය. විටෙක එහි රූප උඩ පනී. තවත් විටෙක නොපෙනී යයි. එහිදී චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයාගේ මනසට නැගෙන්නේ "සල්ලි නැත්නම් ණය ‍වෙලා හරි LCD ටීවී එකක් එක්ක හෝම් තියෙටර් සිස්ටම් එකක්" මිලදී ගැනීමටය. මක්නිසාද ඒවායෙන් නිවසේ සිටම උපරිම සිනමාත්මක වින්දනයක් ලබාගත හැකි බැවිනි. 

චිත්‍රපටයේ විවේකකාලය තුළදීද මෙවැනිම වූ දුෂ්කරතාවලට මුහුණපෑම‍ට සිදුවේ. වැසිකිළි පහසුකම් ඉතාමත් දුර්වලය. කැන්ටිමේ කෑම අනිත් කඩවලට වඩා දෙතුන් ගුණයකින් මිලෙන් වැඩිය.

මා විසින් මේ සටහන ඔබ වෙත ගෙන ආවේ චිත්‍රපටයක් නැරඹීමට යාම ඉතාමත් කටුක අත්දැකීමක් බව පෙන්වා දීමටය. කිසිවිටෙකවත් චිත්‍රපට කර්මාන්තය විනාශ කිරීමටවත්, සිනමාශාලා හිමියන්ට පාඩු කිරීමටවත් නොවේ. ‍බොහෝවිට කොළඹින් දුරබැහැර ප්‍රදේශවල තිබෙන සිනමා ශාලා තුළදී ඔබත් මෙම අත්දැකීම් විද තිබෙන්නට පුළුවන. වර්තමානයේ කොළඹ අවට සිනමාහල් වැඩිදියුණු කර ප්‍රේක්ෂකයාට ඉහතකී අත්දැකීම් ලබා නොදීමට කටයුතු කිරීම සතුටට කරුණකි.

සිනමා ශාලා ගැටළුව සිංහල සිනමාව තුළ ඛේදාන්තයක් ඇතිකිරීමට හේතුවූ තවත් එක් ගැ‍ටළුවක් පමණි. මෙරට නිසි ලෙස ක්‍රියාත්මක වන රංග පාසලක් නොතිබීම, රැගුම් පාලක මණ්ඩලය අත්තනෝමතික ලෙසචිත්‍රපට තහනමට ලක්කිරීම, සිනමා විචාරකයන් හොලිවුඩ් සිනමාව ඔළුවේ තබාගෙන සිංහල සිනමාව විචාරය කිරීම, රූපවාහිනියේ පැමිණීමත් සමග ප්‍රේක්ෂකයා සිනමාවෙන් දුරස් වීම ආදී වශයෙන් කී නොකී කාරණා රැසක් මෙයට බලපා තිබේ. 

මේ පිළිබදව තවදුරටත් ලිවීම කළ හැකි වුවද ලිපියේ දීර්ඝභාවය වැඩිවන නිසා මම එසේ නොකරමි. නමුත් මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාරය මත මෙහි අභාග්‍යසම්පන්න බව පිළිබදව ලිවීමට මම බලාපොරොත්තු වෙමි. එය නුදුරු අනාගතයේදී සිරසි තුළින් ඔබට කියවීමට හැකිවනු ඇත.
                                                   -දුලාන් තනුශංක සිල්වා
                                                    තෙවන වසර
                                                    පේරාදෙණිය විශ්වවිද්‍යාලය

3 comments:

  1. සිරාවටම චිත්‍රපටි හෝල් එකකට ගියහම මේ වගේ වැඩ ඕනේ තරම් වෙනවා...කතාව ඇත්ත.ඒත මචං ලංකාවේ ඉන්න චිත්‍රපටි බලන ප්‍රේක්ෂක පිරිස අඩු වීමත් අපේ සිනමාව වැටෙන්න ලොකු හේතුවක්..හොද ලිපියක මචං..නියමයි..

    ReplyDelete
  2. okata ithin 2.50 ewata noya,hoda ewata giyanam iwaraine ban.wede kiyanne hoda ewata ennema english films ne.sinhala ennema oya kiyana jarawal walata thamai.

    ReplyDelete
    Replies
    1. හොද ෆිල්ම් හෝල් එකක් ළගපාතක නෑනෙ මචං. සැවෝයි එක වගේ ඒවා ලංකාවෙ හැම තැනම දාලා තියෙන්න ඕන හොදට ෆිල්ම් බලන්න නම්..
      thanks for comments....

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger