IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

අප්‍රතිහත ධෛර්යවන්තයාගේ කතාව

Post by Unknown | at 7:21 AM | 0 Comments | Categories

ශ්‍රී ලංකා කණ්ඩායමේ ධෛර්යවන්තම ක්‍රීඩකයා-ඩිල්ෂාන්




  "ඔව් උඩපන්දුවක්,රැක ගන්නවා සුපිරි පන්දු රකින්නා තිලකරත්න ඩිල්ෂාන් විසින්.... ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියෙක් නම්,එක් වරක් හෝ ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රීඩා විකාශය ශ්‍රවණය කර ඇතිනම් මේ වාක්‍ය කණ්ඩය හසළ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන ප්‍රේමසර ඈපාසිංහයන්ගේ මුවින් පිටවෙනු ඔබ නිසැකවම අසා ඇති. ඇත්තටම ඩිල්ෂාන් කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න දක්ෂතම පන්දු රකින්නා බවට කිසිදු සැකයක් නැහැ.ඒ වගේම කණ්ඩායමේ ඉන්න ධෛර්යවන්තම ක්‍රීඩකයා කිව්වොත් මා තවත් නිවැරදියි.මොකද මුලින්ම කඩුළු රකින්නෙකු වෙලා ඉදලා ඊට පස්සේ ඒක අතඇරලා මැදපෙළ පිතිකරුවෙකු වගේම දකුණත් දග පන්දු යවන්නෙකු වීමත් ඉන්පසුව ආරම්භක පිතිකරුවෙකු ලෙසටත් සැරින් සැරේට ස්ථාන මාරු කරමින් ක්‍රීඩා කිරීම ලේසි නැති නිසා මම එහෙම කිව්වේ.



 අද මට මේ ලිපිය ලියන්න හිතුනේ ඊයේ ඩිල්ෂාන්ගේ 36 වෙනි උපන්දිනය නිසාම නෙමෙයි.20-20 ලෝක කුසලානේ අවසාන මහා තරගයේදී ඔහු ලකුණු නොලබා දැවීයාම ගැන සමහර මිනස්සු කියපු කතා ගැනත් සලකලා.ඩිල්ෂාන්ගේ උපන් ගම කළුතර, ඔහු කළුතර විද්‍යාලය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවේ.1996දී කළුතර ටවුන් ක්ල්බ්(KTC)ක්‍රීඩා සමාජයෙන් ආරම්භ කර පසුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය දක්වාද,අයි.පීඑල්. තරගාවලියේ බැංගලෝර් කණ්ඩායමේද,එස්.එල්.පී.එල්. තරගාවලියේ බස්නාහිර කන්ඩායමේද වර්තමානයේ ක්‍රීඩා කරන ඔහු ආ ගමන් මග නම් ඉතා දුෂ්කර එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.



1999 දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔහු ටෙස්ට් වරම් ලබා එම තරගාවලියේ දෙවන තරගයේදී ලකුණු 163ක් ලබාගෙන සාර්ථකත්වයට පැමිණියේය.නමුත් එකල ඔහු මැදපෙළ පිතිකරුවෙකු වශයෙන් කටයුතු කළ අයෙකි.ලංක ක්‍රිකට් ඉතිහාසයේ රුවන් කල්පගේ,උපුල් චන්දන වැනි සුපිරි පන්දු රකින්නන් අතර ඩිල්ෂාන්ද බැබළෙන තරුවකි.ජොන්ටි රෝඩ්ස්,පෝල කලින්ග්වුඩ් වැනි දක්ෂ පන්දු රකින්නන් මෙන් මොහුද බැක්වඩ් පොයින්ට් කලාපයේ සිට තරගයකදී නවත්වන හතරේ පහරවල් ගණන සහ රැකගන්නා උඩපන්දු ගැන සලකන විට ඔහු තරගයේ පිතිකරණයට අමතරව අනිවා ලකුණු 20-30 කණ්ඩායමට ඉතුරු කරදෙයි.


මෙම සුවිශේෂි ක්‍රීඩකයා ලකුණු අතර නොසිටීම නිසා 2001-2003කාලවකවානුව තුළ කණ්ඩායමෙන් කිහිප වතාවක් ඉවත් කර දැමූ අතර,ඔහු නැවත 2007-08  ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරයෙන් සංචිතයෙන් ඉවත් කර දැමීය.එම වකවානුව තුළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායකත්වය ලබාදෙමින් සිම්බාබ්වේ පිළට එරෙහිව පිළිවෙලින් ලකුණු 111,78 ක් හා 31ක් ලබාගෙන තරගාවලිය 3-0 ක් ලෙස අවසන් කරමින් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුගේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.එම දක්ෂතා මත ඔහුව ඕස්ට්‍රේලියාවේ තුන්කොන් තරගාවලියේ ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනුනි.ඉන්දියාවට එරෙහිව පැවති මුල්ම තරගයෙන් ඔහු ලකුණු 62ක් පන්දු 59කදී ලබා ගෙන තම ස්ථාවරත්වය පෙන්වීය.ඔහුව කණ්ඩායමෙන් ඉවත් කළ සමයේ ඔහුගේ ක්‍රීඩා සමාජයට ගොස් ඩිල්ෂාන් පවසා ඇත්තේ තමන්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවයි.ඉන්පසුව එම ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කැපවීමෙන් ඔහු ලකුණු අතරට පැමිණි අතර ජාතික කණ්ඩායමේද ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කලේ එම කැපවීම්වල ප්‍රථිඵල ලෙසයි. 



2008 තරගාවලියෙන් පසුවද ඔහු විටින් විට මාස 11ක් පමණ ටීම් එකේ ඉන් අවුට් සාමාජිකයෙක් වූ අතර ඒ අතර කාලයේ සංගා ,වැන්ඩෝට්,සනත් වැනි ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් වීමට උත්සහ කළත් එය සාර්ථක වූයේ නැත.2007 අග තුළදී ඔහු බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ පන්දු 135කට ලකුණු 188ක් ලබාගෙන ඉතා සාර්ථක පිතිකරුවෙක් විය. ඩිල්ෂාන් දිගින් දිගටම ඔහුගේ පුහුණු වීම්වල නිරත වූ අතර ඔහුගේ ක්‍රිකට් දිවියේ දැනට උදාවී ඇති හොදම කාලය 2009 වර්ෂයයි.පකිස්ථාන සංචාරයෙදී දෙවන වතාවටත් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණු අතර එහිධි ඔහු සුපිරි දක්ෂතා රැසක් එළි දැක්වීමට සමත් විය.ඉන්පසුව ටෙස්ට් එක්දින 20-20 සදහා කාලයකට පසු හොද ආරම්භක පිතිකරුවෙකු නැවත ලැබුණි.



2009 වර්ෂයේ  20-20 ලෝක කුසලානයේදී ඩිල්ෂොන් තරගාවලියේ වීරයා බවට පත්වූයේ ලකුණු 317ක් 52.83ක සාමාන්‍යයක් රදවාගෙනය.එකල සිට අද දක්වාම ඔහු හිස පහත් කර කඩුල්ලෙන් පිටුපසට පන්දුව යොමු කරන ඩිල්  සකූප් පහර ඉතා ජනප්‍රිය එකකි.කෙසේ වෙතත් ඔහුව කණ්ඩායමෙන් ඉවත් වූ වාර ගණන වැඩි වූවත් ඔහු කැපවීමෙන් කටයුතු කර නැවත ජාතික කණ්ඩායම තුල ස්ථාවරත්වය තබාගත් ධෛර්යවන්තයෙකි.



2011 ලෝක කුසලානයෙන් පසු සංගා නායකත්වයෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ඩිල්ෂාන් නායකත්වයට පැමිණයේය.ඉන්පසුව ඔහුගේ නායකත්වය යටතේ එංගලන්ත සංචාරයේ ටෙස්ට් හා එක්දින තරගාවලියද,පනිස්ථානය හමුවේ සහ ඕසට්‍රේලියාව හමුවේ ටෙස්ට් එක්දින තරගාවලි එක පිට එක පරාජය වෙද්දී එ ඔක්කොම වැරදි ටික බැර වූයේ ඩිල්ෂානගේ ගිණුමටය.ඔහුගේ නායකත්වයේ වැරදි කියමින් කට්ටිය කැ ගසන්නට විය.නමුත් ඔහු නායකත්වය ගැනීමට පෙර උප නායක කමවත් ඔහුට ලබා නොදී මහේල උපනායක කමේ තබා එක්වරම නායකත්වය ඩිල්ෂාන්ට ලබා දීමෙන් ඔහුට ඇතිවූ අපහසුතාවය ගැන කවුරුත් කතා කලේ නැත.


ඔහු ලබාගත් ශතක 13න් ශතක 11කම තරග දිනුවේ ඔහු නිසා බවට කාටවත් මතක් වුනේ නැත.දකුණු අප්‍රිකාවේ කිසිදිනක ටෙස්ට් ජයග්‍රහණයක් නොලැබූ ලංකාව ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ට් ජය වාර්තා කිරීම ගැන කිසි කතාවක් කලේ නැත.අනික ඩිල්සෘන් නායකත්වය දරන සමයේ අපේ පිතිකරුවන් ගොඩ දෙනෙක් ලකුණු අතර සිටියේ නැත.ඒ සියළු වැරදි ගියේ ඩිල්ෂෘන්ගේ කරපිටිනි.

කෙසේ හෝ මෙවර ලෝක කුසලානයේදී ඔහුගේ දක්ෂතා විශේෂයෙන් නවසීලන්තය සමග පැවති තරගයේ ඔහුගේ සුපිරි පිතිකරණය සුපර් ඕවරයේ ලබාගත් උඩපන්දුව නැත්තම් ලංකාවට අවසාන මහා තරගය ගැන හිතන්නවත් අවකාශ ලැබෙන්නේ නැත.අවසාන මහා තරගයේ ලකුණු නොලබා දැවී ගියද මෙවර 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු අතරින් දෙවනි වන්නේ මහේලට පමණි.අනික එදා අවසන් මහා තරගයේ කුලසේකර වෙනුවට ඩිල්ෂාන් එතන හිටියා නම් මාලන් සැමුවෙල්ගේ උඩපන්දුව ඔය විදිහට අතහැරෙන්නේද නැත.එහෙම වුනා නම් මාලන් සැමුවෙල් ලකුණු 20ට අවුට් වී තරගය ලේසියෙන්ම අපිට දිනන්නට තිබුණි.අදටත් උඩපන්දුවක් ඇල්ලීමට පෙර ඩිල්ෂාන් එම උඩපන්දුව රැකීමට සිටියොත් බයක් නැත.නමුත් වෙනත් ක්‍රීඩකයෙකු ගැන තවමත් එතරම් විශ්වාසයක් තැබිය නොහැකිය.අමාරු කැච් එකක් ඇල්ලු විට අපි කියන්නේ යන්තන් ඇති ඩිල්ෂාන් හිටිය නිසා ඇල්ලුවා.වෙන කවුරුහරි හිටියා නම් ඉතිං...... කියලයි.



ඇත්තටම ඩිල්ෂාන් යනු අප්‍රතිහත ධෛර්යවන්තයෙකි.මා දන්නා තරමින් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ක්‍රීඩකයන් එති.ටික කලකින් ඉත්වෙයි.ඒ අතරින් ඩිල්ෂාන් යනු තමාව කණෟඩායමෙන් කිහිප විටක් ඉවත් කර තිබියදීත් තම ස්ථාවරත්වය සකස් කරගත් ධෛර්යවන්තයෙකි.ඊයේ ඔහුගේ 36 වෙනි උපන්දිනයට සුබ පතමු.නැවත ඔහු අනිවා ලකුණු අතරට පැමිනෙනු නියතයි.

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger