IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

චිත්‍රපටය ලෝකයට බිහිවුණේ මෙහෙමයි

Post by Unknown | at 5:59 PM | 1 Comments | Categories

           මුල්ම චලන චිත්‍රපටය සිපගැනීමකින් පටන් ගනී

                                                    ලොව ප්‍රථම චිත්‍රපටයේ දර්ශනයක්

හැමෝම චිත්‍රපටි බලනවනෙ.චිත්‍රපටවලට කැමති නැති අය ඉන්නවනම් ඒක හරිම විහිළුවක් කියලයි මට හිතෙන්නෙ. මොකද ඒ තරමටම චිත්‍රපටය හා අපි අතර ලොකු බැදියාවක් තියෙන නිසා. ඉතිං මෙච්චර අපිත් එක්ක සමීප චිත්‍රපටයේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු ටිකක් ඔයගොල්ලන්ගේ දැනුමට එකතු කරන්න අරගෙන එන්න මට හිතුණා. මේ ගැන ගොඩක් අය අහලා නැතිවෙන්නත් පුළුවන්නෙ. මේකට කරුණු හොයාගන්න ටිකක් මහන්සි වෙන්නත් උනා. වැඩි කතා නැතුව මම එහෙනම් චිත්‍රපටයේ ඉතිහාස කතාව කියන්නම්.

චලන චිත්‍රපටය ආරම්භ වීමට පෙර නිශ්චල ඡායාරූපකරණය ලොවපුරා ප්‍රචලිතවී තිබුණි. නමුත් මිනිසා සියවස් ගණනක් තිස්සේ බලාපොරොත්තුවූ සිහිනයක් වූයේ චලන චිත්‍රයක් සැබෑවට දැකබලා ගැනීමය. එම සිහිනය සැබෑ කිරීමට දායක වූයේ ලුමියර් සොහොයුරන්ය. මොවුන්ට මෙය සැබෑ කිරීමේ අවස්ථාව උදාවූයේ 1895 දෙසැම්බර් 28 වැනිදා සවස්කාලයේදීය. ප්‍රංශයේ 'ද ග්රෑන්ඩ් කැෆේ' හෝටලයේදී 17වන සියවසේ මහා ප්‍රාතිහාර්ය සාමාන්‍ය ජනතාවට දැකබලා ගැනීමේ අවස්ථාව උදාවිය.

                                                           ලුමියෙර් සහෝදරයෝ

1895 දී චිත්‍රපටය බිහිවුවද එය එලෙස බිහිවීම සදහා බලපෑ දීර්ඝ ඉතිහාස කතාවක් තිබේ. චලන චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස ප්‍රථමයෙන්ම ලොවට ඉදිරිපත්වන්නේ 'ඇරිස්ටෝටල්'ගේ සමයේදීය. එහෙත් එය චලන චිත්‍රයක් නොව සූර්යාලෝකය හා සෙවනැලි රූප අතර පර්යේෂණයකි. කුඩා සිදුරක් හරහා ආලෝක ය ගමන් කරන්නට සලස්වා එමගින් පර්යේෂණයන් සිදුකරන ලදී. 16 වන සියවසේදී 'ලියනාඩෝ ඩාවින්චි' හරහාද චලන චිත්‍රය පිළිබද සාක්ෂි ලොවට ඉදිරිපත් විය. ඔහු ආලෝකයෙන් මතුවන සෙවනැලි චිත්‍රයට නැගුවේය. එමෙන්ම ආලෝකය ගමන් කරන්නේ සරල ගමන්මගක බව පැහැදිළිව පෙන්වාදීමට සමත්විය. එහෙත් අවාසනාව නම්, මේ පිළිබදව අනාවරණය වූයේ ඩාවින්ගේ මරණයෙන් පසුවය. ඔහු ජීවත්ව සිටියදී මෙය අනාවරණය වූයේ නම් චලන චිත්‍රය 1895 ට ප්‍රථමයෙන් ලොවට බිහිවන්නට බොහෝදුරට ඉඩකඩ තිබිණි.

17 වන සියවසේදී චලන චිත්‍රයේ පැමිණීමට පෙර‍ සෙවනැලි නාට්‍යකලාව යුරෝපයේ මහත්සේ ජනප්‍රිය විය. සෙවනැලි නාට්‍යකලාවේ ආරම්භක රට වූයේ චීනයයි. පසුව මෙය අරාබි වෙළෙදුන්ගෙන් යුරෝපයට උරුම විය. යුරෝපයේදී එම රටවල ආවේණික ලක්ෂණ දරමින් එය සංවර්ධනය විය. මේ සදහා මහත්සේ ජනතා ප්‍රතිචාර හිමිවිය. නමුත් ඒ තුළින් මිනිසා බලාපොරොත්තු වූ තෘප්තිය ලැබුණේ නැත. ප්‍රේක්ෂකයාට අවශ්‍ය වූයේ ජීවමාන රූප සහිත චලන චිත්‍රයක් නැරඹීමටය. එය 1895 දෙසැම්බර් 28 වන දින නත්තල් සිසිලසත් සමග විදගැනීමට අවස්ථාව උදාවිය.

                                     තෝමස් අලිවා එඩිසන් ඔහුගේ චලන කැමරාවත් සමග

ලෝකයේ ජීවමාන මිනිසුන් රගපෑමට පෙර විවිධ සතුන්ගේ ඉරියව් රූපගත කිරීමට කැමරා නිෂ්පාදනය කළ විවිධ පුද්ගලයන් උත්සුක විය. ඒ අතර 1874 දී 'එතීන් ජූල්ස් මරේ' නම් සත්ව විද්‍යාඥයා කැපී පෙනේ. නමුත් මේවා නිළවශයෙන් එළිදැක්වූයේ 1895 දීය. 1891 වර්ෂයේදී 'තෝමස් අල්වා එඩිසන්' විසින් ලොව ප්‍රථම මිනිස් නළුවා ලොවට දායාද කළේය. ඒ ඔහුට අයත් චිත්‍රාගාරය තුළදීය. ප්‍රථම නළුවා වූයේ 'ෆ්‍රෙඩ් ඕට්' නම් පුද්ගලයාය. ඔහුගේ රගපෑම වූයේ කිවිසුමක් පිටකිරීමකි. ඒ අනුව ඔහු කැමරාවක් ඉදිරිපිට රගපෑ ලොව ප්‍රථම නළුවා වශයෙන් ඉතිහාසයට එක්විය.

මෙම කිවිසුමත් සමගම එඩිසන් විසින් පිරිමියෙක් හා ගැහැණියෙක් අතර සිදුවන සිපගැනීමක් රූගත කළේය. ඒ 'ජෝන් රයිස්' හා 'මේරි අර්වින්' අතරය. ලෝකයේ චලන චිත්‍රපටය හාදුවකින්ම ආරම්භ වීම කෙතරම් විශ්වකර්ම සිද්ධියක්ද? ඒ අනුව වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ආරම්භයද චිත්‍රපටයේ බිහිවීමත් සමග ආරම්භ වූවා යැයි අපට නිගමනය කළ හැක. (මෙය හුදෙක් මාගේ හාස්‍යජනක නිගමනයක් පමණි)

                                                     ප්‍රථම සිනමාත්මක සිපගැනීම

චිත්‍රපට වාරණය සම්බන්ධයෙන් ප්‍රවෘතියක් සැලවීමට වැඩිකාලයක් ගතවූයේ නැත. ඒ 1894 දී එඩිසන්ගේ සගයා වූ 'ඩික්සන්' නැමැත්තා 'කාමෝෂියා' නම් නළගන රගන අඩනිරුවත් දර්ශනයක් රූගත කළේය. ඇය ඇද සිටියේ ඇගේ යට ඇදුම පමණි. කොංග්‍රස් සභිකයෙකු වූ බ්‍රැඩ්ලි විසින් මෙම චිත්‍රපටය තහනම් කළේය. එය ලෝක සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක් වාරණය වූ පළමු අවස්ථාවයි.

මා විසින් මෙතෙක් ඔබට ඉදිරිපත් කළේ ලෝකයේ විවිධ කැමරා නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කළ තම කැමරාවෙන් ලබාගත් එක් එක් දර්ශන පිළිබදව වූ විස්තරයකි. මේවා හුදෙක් චලන චිත්‍ර වූවා පමණක් මිස යම්කිසි කතා තේමාවක් රැගත් සිනමා නිර්මාණ නොවේ. එකල චලන චිත්‍ර නැරඹීම සදහා ජනතාවගේ පැවති ආශාව හේතුවෙන් කිසිදු හරයක් නොමැති වීඩියෝ දර්ශනවලට මහත් ඉල්ලුමක් තිබුණි. නමුත් නිළ වශයෙන් සිනමාත්මක කෘතියක් බිහිවන්නේ 1895 දෙසැම්බර් 28 දාය.

මෙය ප්‍රවේශපත්‍ර විකුණා මහජනතාව වෙත සිනමා කෘතියක් දැන් තිබෙන ආකාරයට නැරඹීමට ලැබුණු මුල්ම අවස්ථාව විය. මෙම චිත්‍රපට දර්ශනයේ චිත්‍රපට පහක් අන්තර්ගත විය. මෙකල බිහිවූ චිත්‍රපටවල ශබ්ද අඩංගු නොවූ බව අබ කව්රුත් දන්නා කරුණකි. චලන රූප පමණක් අඩංගු වූ මෙම දර්ශනය තුළ මුළින්ම පෙන්වන ලද්දේ දොරටුවක් ඇරෙන දර්ශනයකි. ඉන් එළියට පැමිණි ගැහැණුන් හා පිරිමින් පෝලිමේ ඉදිරියට ගමන් කළහ. දඩාවතේ යන බල්ලෙක්ද මේ පිරිස අතර විය. අනාගත ලෝකයේ ප්‍රබලතම විනෝද මාධ්‍යයේ මූලාරම්භය එය වී තිබුණි.

                                    කර්මාන්තශාලාවෙන් එළියට පැමිණෙන පිරිසේ දර්ශනය

ලුමියර් සහෝදරයන් විසින් අතපෙවූ මෙම ඓතිහාසික සන්ධිස්ථානයෙන් අනතුරුව වර්තමානය දක්වා චිත්‍රපටයේ විකාශනය සිදුවිය. මෙහි තිබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ චිත්‍රපටයේ ආරම්භයේ සිටම වර්තමානය දක්වාම චිත්‍රපට මහජනයාට නැරඹිය හැකිවන්නේ තිරයක් මතට ප්‍රක්ෂේපණය කළ දර්ශන තුළින වීමයි. මේ ආකාරයට මුල්කාලීනව දර්ශනවලින් පමණක් ධාවනය වූ චිත්‍රපට පසු කලෙක කතාකාද එකතුවෙමින් සංවර්ධනය විය. මුල්කාලයේදී වාර්තා චිත්‍රපට ඇතිකිරීම ඇතිකිරීම සදහා උපයෝගී කරගත් සිනමාව පසුව උසස් රසවින්දනයක් සහිත සිනමා කෘති බිහිවීම දක්වා විකාශනය විය.

මා විසින් මෙම ලිපියේ දක්වන ලද්දේ චිත්‍රපටයේ උපත සම්බන්ධ ඉතාමත් සංක්ෂිප්ත මෙන්ම පාඨකවන් බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයකි. චිත්‍රපටයේ විකාශනය සම්බන්ධව ඉදිරියටත් ලිපි කිහිපයක් ලිවීමට මාගේ බලාපොරොත්තුවක් ඇත. එය තීරණය වන්නේ මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබගේ අදහස් හා ප්‍රතිචාර පහත කමෙන්ට්වලින් යොමුකරන්න.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

1 comment:

  1. වැදගත් ලිපියක් දුලාන් සහෝ. අපි දැකලා නැති ඡායාරූප ගොඩක් මේ ලිපියේ අන්තර්ගත වෙනවා.දිගටම මේ වගේ දුර්ලභ ලිපිවලින් අපිව දැනුවත් කරන්න

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger