IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ඔබත් හැකර්කරුවෙක්ද?

Post by Unknown | at 9:09 PM | 2 Comments | Categories

                   හැකිං ප්‍රහාරවල නූතන තත්වය


හැකර්කරුවා, හැක්කාරයා, හැකිං ප්‍රහාර යන වචන ඔබට අමුතුදෙයක් නෙවෙයි. මොකද වර්තමානය වනවිට මේගැන බොහෝ අවස්ථාවලදී අපට අසන්නට ලැබෙන නිසා. මේ හැකර් කරුවෝ දැන් දැන් ලෝකයේ පැවැත්මට තර්ජනයක් වෙමිනුයි ඉන්නෙ. සයිබර් අවකාශයේ සැරිසරන සාමාන්‍ය පුද්ගලයන්ටද දැන් මේ හැකර් කියක රෝගය බෝවෙලා තිවයන්නෙ. ඉතිං කම්පියුටර් එක අතපතගාන මේගොල්ලොන්ට හැක්කාරයෙක් වෙන එක අභිමානයට කාරණයක් වෙලා. ඒකනම් එච්චර හොද තත්වයක් නෙමෙයි. මගේ ලිපියේ අරමුණ හැක්කාරයො කියන්නෙ කවුද කියන එක පැහැදිළි කරන එක නෙවෙයි. ඒත් මේ ගැන හරිහැටි තේරුමක් නැති අයත් ඉන්න පුළුවන්නෙ. මේක නිකං කාගෙවත් ෆේස්බුක් පාස්වර්ඩ් එකක් හැක් කරනවා වගේ දෙයක් නෙවෙයි. ඒක පොඩි සොෆ්ට්වෙයාර් එකකිනුක් කරන්න පුළුවන්නෙ.ඊටවඩා බැරූරුම් කාරණයක්. ඒ නිසා මම ඔක්කොටම කලින් හැකිං සහ හැකර්කරුවන් සම්බන්ධව පුංචි හැදින්වීමක් කරන්නම්. 

හැකිං (haking) කියලා හදුන්වන්න පුළුවන් වෙන්නෙ නීතිමය තත්වයෙන් බැහැරව යම්කිසි තොරතුරු පද්ධතියක හරි පරිගණක ජාලයක තියෙන ආරක්ෂක ක්‍රමවේද මගහැර ගොස් එයට රහසිගත ලෙස ඇතුළුවීමයි. මෙය සාපරාධී ක්‍රියාවකි. මෙහි එතිකල් හැකිං (ethical hacking) කියල තවත් පැත්තක් තියෙනවා. ඒකියන්නෙ නීතිමය අවසරයක් ඇතිව පරිගණක ජාලවල ඇතිවී තිබෙන දෝෂ මගහැරවීම සදහා විකල්ප මාර්ගයකින් එයට ඇතුළුවීමයි. මේ ආකාරයට ආරක්ෂක ක්‍රමවේද මගහරිමින් පරිගණක ජාලවලට ඇතුළුවන්නා හැකර්කරුවා/හැක්කාරයා ලෙස හදුන්වනවා. මේ හැක්කාරයාවද ආකාර දෙකකින් හදුන්වනු ලබනවා. නරක චේතනාවෙන් හැක්කරන්නා black hat hacker ලෙසත් යහපත් චේතනාවෙන් හැක්කරන්නා white hat hacker ලෙසත් හදුන්වයි. හැබැයි ඉතිං ලෝකයේ වැඩිපුර ඉන්නෙ black hat hacker ලා තමයි. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ලෝකයට මහත් හානිදායක වෙලා සහ වෙමින් පවතිනවා. ඒ නිසා මෙම ලිපියෙන් ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයේ බලපෑම පිළිබදව විමසා බලමු.


බොහෝ දෙනා හැකිං ප්‍රහාර ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැදින්වීමට පෙළඹී තිබේ. ත්‍රස්තවාදයේ නූතන පරිවර්තනය ලෙසද මෙම හැකිං ප්‍රහාර පත්වෙමින් තිබේ. ලෝකබලවතුන් භීතියට පත්කරමින් හැකර් කරුවෝ තම කටයුතු කිසිදු අවහිරයකින් තොරව පවත්වාගෙන යනු ලබයි. මේ සදහා ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැකිවන්නේ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ 'ජුලියන් අසාන්ගේ' ක්‍රියාකාරිත්වයයි. ඔහුගේ වෙබ් අඩවිය විසින් ඇ.එ. ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වෙබ් අඩවිවල ඇති සියළු රහස් තම විකිලීක්ස් වෙබ් අඩවිය තුළින් මුළු ලෝකයාටම ඉදිරිපත් කළේය. මෙය එක්තරා අන්දමක හොරකමක් වුවද මගේ හැගීම වන්නේ මේ හරහා ඇමරිකාවේ නිරුවත ලොවට හෙලිවූ බවයි‍. වසර 2001 දී ඇමරිකාවේ ලෝකවෙළද මධ්‍යස්ථානයට එල්ලවූයේ අල්කයිඩා ප්‍රහාරයකි. නැවත 2010 දී ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවට එල්ලවූ සයිබර් ප්‍රහාරය අල්කයිඩා ප්‍රහාරයට නොදෙවෙනිය.


මෙම ආරක්ෂක තොරතුරු අඩංගු රහසිගත සයිබර් කලාපයට ඇතුළුවී තිබෙන්නේ 'බ්‍රැඩ්ල් මැනිං' නම් ඇමරිකන් සෙබලාය. ඔහු හරහා එම තොරතුරු ජුලියන් අසාන් අතට පත්විය. මොවුන් දෙදෙනාම දැන් සිපිරි ගෙදරය. මෙවැනි දේවල් දැන් ලෝකයේ බොහෝ තැන්වල සිදුවේ. විශේෂයෙන් හැකිං ප්‍රහාර සිදුකිරීම සදහා බොහෝ කණ්ඩායම් ලෝකයේ ඒකරාශීවී සිටී. මෙම හැකර්කරුවන් අන්තර්ජාලයේ පෙනීසිටිනවිට බොහෝ අවස්ථාවලදී භාවිතා කරන්නේ 'ගයිඩෝ ෆොකීස්' නම් පුද්ගලයාගේ වෙස්මුහුණයි. මොහු 16වන සියවසේදී එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවලට එරෙහිව සටන් වැදුණු පුද්ගලයෙකි. මේ ආකාරයෙන් පෙනී සිටින හැකර් කණ්ඩායම් අතර ලූල්සෙක්(Lulzsec), අපි ඇනෝනිමස් (we are anonymous) යන කණ්ඩායම් ප්‍රමුඛස්ථානයක් ගනී. මොවුන් පසුගියකාලයේ කැපීපෙනුනේ ලෝකයේ සුප්‍රසිද්ධ ස්ථානවල පරිගණක ජාලවලට ඇතුළුවී තම සෙල්ලම් පෙන්නූ නිසාය. ඔවුන්ගේ ප්‍රහාරවලට ලක්වූ සුප්‍රසිද්ධ ආයතන කිහිපයක් පහත දැක්වේ.

නාසා ආයතනය
සීඅයිඒ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ඇමරිකානු ගුවන්විදුලිය
ඇමරිකානු සෙනට් සභාව‍
ඇමරිකානු ජාතික සෞඛ්‍ය සේවය
සෝනි පික්චර්ස්
සෝනි ප්ලේස්ටේෂන්
සෝනි මියුසික්
හොන්ඩා කැනඩා ආයතනය

හැකර් කරුවෝ මෙම ආයතනවල පරිගණක ජාලවලට ඇතුළුවී හිස් අතින් ආපහු ගියේ නැත. ඒවයේ අඩංගුකර තිබූ වටිනා රහස් දත්ත රැසක් ඔවුන් විසින් සොරා ගනු ලැබීය.

ලෝකයේ දේශපාලනික වශයෙන්ද හැකර්කරුවන් මැදිහත්වීම නව ප්‍රවණතාවයක් වී තිබේ. විශේෂයෙන් අරාබික‍රයේ රටවල පවතින දේශපාලනික තත්වය මත එම රටවල සිටින කැරළිකරුවන්ට සහයදීමට හැකර්කරුවන් සමත්වී තිබේ. විශේෂයෙන්සිරියාව, ටියුනීසියාව, ලිබියාව, ඊජිප්තුව වැනි රටවල මෙම තත්වය දැකගත හැකිය. එනම් එම රටවල පාලන  අධිකාරය විසින් එම රටවල තොරතුරු ජාත්‍යන්තරයට යාම වැළැක්වීම සදහා අන්තර්ජාලය සීමා කරතිබේ. ‍අපේ භාෂාවෙන් කියනවානම් බ්ලොක් කර තිබේ. මේ නිසා කැරළිකරුවෝ හැකර්කාරයන්ගේ පිහිට ලබාගෙන අදාළ තොරතුරු ජාත්‍යන්තරයට ගෙන යාමට පෙළඹී ඇත. ඒ තුළින් ජාත්‍යන්තරයෙන් කැරළිකරුවන් හුදකලා වීම වැළකී තිබේ. ඒනිසා කැරළිකරුවන්ට බාහිර ලෝකයේ උදව් ඇතිව පාලකයන් පලවා හැරීමට හැකිවී තිබේ.


‍හැකර්කරුවන් පිළිබදව තවදුරටත් ලිවීම කළ හැක. නමුත් ලිපියේ දීර්ඝභාවය සලකා එසේ නොකරමි. ලෝකයේ බොහෝ රටවල් සයිබර් අපරාධ මැඩලීමේ නීතිරීති දැඩිකරමින් සිටී. මේ සදහා හැකර් කරුවන්ගේ පිළිතුරවන්නේ නීති පනවන්නන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවී තිබෙන බවයි. රටකට, ආයතනයකට, පුද්ගලයෙකුට බරපතල විනාශයෙක් සිදුකිරීමට ත්‍රස්තවාදීන් යොදාගන්නේ ගිනි අවි හෝ පුපුරන ද්‍රව්‍යයයි. ඒ හා සමාන විනාශයක් කිරීමට හැකර්කරුවන්ට අවශ්‍යවන්නේ පුංචි රහස් පදයක් පමණි. මේ ආකාරයට සයිබර් යුද්ධයක් තුළ අප ජීවත් වේ. එය දැන් ආරම්භවී හමාරය. අප කළ යුත්තේ තවත් කෙනෙකුගේ දෙයක් සොරාගැනීම(හැක් කිරීම) නොව එය හැකිතාක් අවම කිරීමට කටයුතු සිදුකිරිමයි. මොකද ලංකාවේද හැක්කාර‍යන් වීමට මාන බලන පුද්ගලයන් බොහෝසිටින බැවිනි. 
  
-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය                                

2 comments:

  1. කතාව ඇත්ත දුලාන්....
    ලංකාවේ දැන් හැක් කරන්න හදන එක රැල්ලක් වෙලා.. ගොඩක් අය හිතන්නේ හැක් කලා කියලා ඇමරිකන් කාරයෝ අපිව අල්ලනේ කොහොමද කියලා නමුත් ඒ කතාව වැරදි ලංකාවේදී ක්‍රියාත්මක වෙන්නෙත් ජාතියන්තර පරිගණක නිති ඒ නීති අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට ඕනෑම පුද්ගලයෙකුට විරුද්දව නීති පියවර ගන්න පුළුවන්

    ලෝකයේ පසුගිය කාලයේ ඉහලම දඩුවම් ලැබූ හැකර් කරුවා "ක්‍රිස්ටෝපර් චෙනි" කියන පුද්ගලයා ඔහු Gmail ගිණුම් තුලට අනවසරයෙන් ඇතුළුවීම නිසා වසර 121 ක සිරදඩුවමක් හිමිඋනා පසුව දඩුවම ලිහිල් කර (ඩොලර් 150,000) හා වසර 5 ක සිරදඩුවමක් නියමවුනා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ළහිරු මම ගොඩක් කොම්පියුටර් ප්‍රශ්න අහන ෆේස්බුක් ග්රූප්වල හැක්කරන හැටි අහලා තියෙනවා මම දැකලා තියෙනවා. අපේ රටටත් මේ උණ දැන් බෝවේගෙනයි යන්නෙ. අපිට ඉතිං ඒකට වෙන කරන්න දෙයක් නෑ මෙහෙම ලිපියකින් දැනුවත් කරනවා හැරෙන්න. කට්ටිය හොද නරක තේරුම් අරගෙන වැඩ කරන්න ඕන කියලා තමයි කියන්න තියෙන්නෙ.

      ඒවගේම ක්‍රිස්ටෝපර් චෙනී ගැන මතක් කරපු එකටත් බොහාම ස්තූතියි‍.

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger