IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

දිවි නැගුම පනත මගින් රටට යහපතක් වෙයිද?

Post by Unknown | at 12:05 PM | 1 Comments | Categories

                    දිවිනැගුම පනත පිළිබද විමර්ශනයක්



"1995 අංක 30 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, 1996 අංක 18 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ 2005 අංක 26 දරන පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් ඒකාබද්ධ කිරීම මගින් දිවි නැගුම සංවර්ධනස දෙපාර්තමේන්තුව යනුවෙන් දෙපාර්තමේන්තුවක් පිහිටුවේ......."


ශ්‍රී ලංකා මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත්කළ දිවි නැගුම පනත් කෙටුම්පත ආරම්භයේදීම මෙලෙස සදහන් වේ. මෙහි ආරම්භයේදීම සදහන් කර තිබෙන්නේ සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය යන අධිකාරීන් අහෝසිවන බවයි. එහෙත් මේ තුනම ඒකාබද්ධ කර දිවිනැගුම දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ආරම්භවන බව එයින් ප්‍රත්‍යක්ෂවන කරුණකි. සත්‍යවශයෙන්ම දිවිනැගුම පනත වර්තමානයේ බොහෝ අවස්ථාවලදී විවාදයට තුඩුදී ඇති පනත් කෙටුම්පතකි. දෝෂාභියෝගයකට ලක්වී සිටින අග්‍ර විනිශ්චයකාරිණි 'ශිරාණි බණ්ඩාරනාක' මහත්මියද දිවිනැගුම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කර තිබේ. රටේ අගවිනිසුරු තුමිය මෙය විවාදයට ලක්කිරීම කැපී පෙනෙන සිද්ධියකි. ඒ නිසා අපි දිවි නැගුම සම්බන්ධයෙන් සංක්ෂිප්ත ලෙස විමසා බලමු.


දිවිනැගුම පනත මුලසිට අග දක්වා කියවාගෙන යාමේදී පැහැදිළි වන්නේ ආණ්ඩුවේ උවමනාවන් මුදුන් පමුණුවා ගැනීමට එය නිර්මාණය කර ඇති බවයි. මෙහි විවිධ ස්ථර ඔස්සේ ජනතාව වෙත බලය බෙදී යාමක් දක්නට ලැබේ. එනම් දිවිනැගුම ප්‍රජාමූල සංවිධාන, දිවි නැගුම ප්‍රාදේශීය සංවිධාන, දිවි නැගුම දිස්ත්‍රික් කමිටු, දිවි නැගුම ජාතික සම්මේලනය යනුවෙන් ස්ථර ගණනාවකින් යුතුව ක්‍රියාත්මක වීමට නියමිතය. මේ ආකාරයට විවිධවූ මට්ටම් ඔස්සේ ජනතාව වෙත යන දිවි නැගුමෙහි අවසන් පූර්ණ බලතල හිමිවන්නේ විෂයභාර අමාත්‍යවරයාටය. අමාත්‍යවරයාගේ ඒකාධිකාරී බලතල යටතේ එය ක්‍රියාවට නැංවෙනු ඇත. එනම් මේ හරහා ලංකාව පුරා විසිරී පැතිරී සිටින සුළු පරිමාණ ගොවියන් එකම බලඅධිකාරයක් යටතට එකතු කරගැනීම මෙහි අරමුණ බව පැහැදිළිව පෙනේ.


ඉහතින් දක්වන ලද ආකාරයට දිවිනැගුමෙහි ආයතනගත ව්‍යුහය තුළට පැමිණෙන නිලධාරීන් අනිවාර්යයයෙන්ම මහින්ද චින්තනයට ගැත්තන් විය යුතුය. නැතහොත් එහි දැක්වෙන කරුණු ක්‍රියාවට නැංවීමට අපහසුවනු ඇත. කෙසේ වුවද සුළුගොවීන් යහපත් ජීවන මට්ටමකට පැමිණෙනවානම් අප කවුරුත් කැමතිය. පනතෙහි තිබෙන කරුණු බලාත්මක වීම තුළින් ගොවියාට කෙසේ වෙතත් නිළධාරීන්ටනම් යහපතක් උදාවනු ඇත. මන්ද දිවිනැගුම ප්‍රජාමූල බැංකු, දෙපාර්තමේන්තු අරමුදල් විශාල නිළධාරීන් පිරිසක් හරහා ගලා යාමයි. අවසානයේදී රොන්මඩ ටික පමණක් ගොවියා වෙත ගලා යනු ඇත. 

අනෙකුත් සියළු අධිකාරීන්වල නිළධාරීන් දිවි නැගුම දෙපාර්තමේන්තුවට අනියුක්තවන නිසා විශාල නිළධාරී පන්තියක් එහි බිහිවනු ඇත. එමෙන්ම නව නිළධාරීන් හා වෙනත් සේවකයන් බදවාගනු ඇත. නිළධාරීන් වැඩිවන විට කිසිදු කාර්යයක් නිසිආකාරව සිදුකර ගැනීමට නොහැකි වේ. මේ තත්වයෙන් සමෘද්ධියෙන් ප්‍රතිලාභ ලැබූ ජනතාව, දකුණේ ජනතාව හා උඩරට ජනතාව මෙන්ම සුළු ගොවියන් අසරණ තත්වයට පත්වීමක් මෙයින් සිදුවිය හැකිය.


කෙසේ වුවද මෙම යහපත් අයුරින් ක්‍රියාත්මක වන්නේ නම් අප කවුරුත් කැමතිය. අප රටේ මෙතෙක් ක්‍රියාත්මකවූ ප්‍රතිපත්ති හා ක්‍රියාදාමවල සාර්ථකත්වය දෙස බැලීමේදී එයින් මහජනයාට ලැබුණු ප්‍රතිලාභ ඉතාමත් සීමිතය. ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය දැන් අඩපණ වී තිබේ. එයට මුදල් ගෙවූ ජනතාවගේ මුදල්වලට වෙච්ච දෙයක් නැත. දිවි නැගුමද එවන්වූ ක්‍රමවේදයක්දැයි සැකසහිතය. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් එය අනිවාර්යයෙන්ම සම්මත වීම සිදුවේ. මන්ද පාර්ලිමේන්තුවේ බහුතරය රජය සතුවන බැවිනි. එහෙත් එයින් පසු තත්වය කෙසේ වන්නේදැයි අපට හරියටම පූර්වකථනය කළ නොහැක. මා පෙර කී දේ බොහෝවිට සිදුවීමට ඉඩ තිබේ. ඒනිසා අපි සුළුගොවීන් වෙනුවෙන් නිරන්තර අවධානයෙන් සිටිමු.

-හෝමෝ ඉරෙක්ටස්

1 comment:

  1. සෑහෙන්න වටින ලිපියක්... ඒත් ලිපියේ මුල් හරිය කියවන කොට ට හිතුනේ මේ ලිපියෙන් දිවි නැගුම වර්නනා කරලා කියලා.ඒත් අන්තිම කොටස්වලදී ඒ ව්‍යාපෘතියේ දෝෂ දක්වලා තියෙනවා.දිවි නැගුම ගම නැගුම මග නැගුම මේ ඔක්කොම ලස්සනම ලස්සන නම් ටිකක් විතරයි.මේ ඔක්කොගෙම යටි අරමුණ තමයි ගසා කෑම...මොන නැගුම දැම්මත් මේ ආන්ඩුවට රට හදන්න බෑ


    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger