IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

සන්ධීය ආණ්ඩුක්‍රමයක් හරහා ශ්‍රී ලංකාවේ ඇතිවියහැකි තත්වය

Post by Unknown | at 12:36 PM | 0 Comments | Categories


                                 සන්ධීය ආණ්ඩුක්‍රමයක් හරහා ශ්‍රී ලංකාවේ ඇතිවියහැකි තත්වය

  ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීම සිදුකළහොත් මෙරට   අනිවාර්යයෙන්ම සන්ධීය ක්‍රමයක්වෙත යනු ඇත. එය මෙරට ඇතිකළහොත් ඒ හරහා සිදුවන බලපෑම රටේ ඉදිරි අනාගතයට හානිදායක තත්වයක් උදාකරයි. ඒ පිළිබදව මෙම ලිපියෙන් විමසාබලමු.


     සන්ධීය ක්‍රමයක් ඇතිකිරීම තුළින් මතුවන ප්‍රබල ගැටලුවක් වන්නේ රටේ ආර්ථික තත්වය පිරිහීමයි. වියදම් අධික ක්‍රමවේදයක්වන මේ ක්‍රමය ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් පවතින රටකට ඇරිය නොහැකිය. ලංකාවේ පාර්ලිමේන්තුව ගත්තද එහි ජනතාවගේ මුදල් අයථා ලෙස පරිහරණය කරන දේශපාලකයන් බොහෝමයක් සිටී. සන්ධීය ආණ්ඩුවකට පත්වන ජනතා නියෝජිතයන්ද මෙවැනි පුද්ගලයන් බවට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවේ. පළාත්සභා තුළද අයථා ලෙසමුදල් පරිහරණය කිරීම් දක්නට ලැබේ. ප්‍රාන්ත ආණ්ඩු වාණිජ සබදතා මගින් මුදල් උපයාගන්නා බැවින් එම මුදල් ගසාකෑමට ලක්වීමට වැඩි ඉඩකඩක් තිබේ. මේ අනුව එක් එක් ප්‍රාන්ත අතර මෙලෙස මුදල් වැරදි ලෙස භාවිතය නිසා රටේ ජාතික ආදායම විශාල ලෙස පහළ බැසීමක් සිදුවේ.

  ප්‍රාන්ත රාජ්‍යවල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ එකිනෙකා පරයා නැගීසිටීමට උත්සාහ දැරීමයි. එනම් ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතිකමය වශයෙන් එක් ප්‍රාන්තයක් තවත් ප්‍රාන්තයක් අභිබවා යාමට උත්සාහ දැරීම මින් අදහස් වේ. සන්ධීය ක්‍රමය තුළින් ශ්‍රී ලංකාවේද මෙම තත්වය ඇතිවිය හැක.සියලු පළාත් අතරින් ඉදිරියෙන්ම සිටින පළාත ලෙස බස්නාහිර පළාත හැදින්විය හැකිය. පසුව ඉදිරියෙන්ම සිටින්නේ මධ්‍යම හා දකුණ යන පළාත්ය. මෙම පළාත් දෙකට බස්නාහිර පළාත අභිබවා ඉදිරියට යාමට නොහැකිවුවද දෙවෙනි තැන ගැනීම සදහා තරගයක් ඇතිවීම සිදුවේ. විශේෂයෙන් ආර්ථික කෙෂ්ත්‍රය තුළ මෙය සිදුවේ. මෙලෙස ඇතිවන සීතල යුදමය තත්වයන් ආර්ථිකයට අහිතකර ලෙස බලපායි.

  සන්ධීය ක්‍රමයන් බොහෝවිට හදුන්වාදෙනු ලබන්නේ ජනවාර්ගික ගැටලුවට විසදුමක් වශයෙනි. උතුරු නැගෙනහිර වෙනම ප්‍රාන්තයක් ලෙස වෙන්කරදීමෙන් සිදුවන්නේ නුදුරු අනාගතයේදී එය වෙනම රාජ්‍යයක් ලෙස කැඩීයාම සිදුවීමයි. ඉන්දියාවෙන් පකිස්ථානය වෙන්වී ගිය ආකාරයට වෙනම රාජ්‍ය බිහිවී,එය එතැනින් නොනැවතී කාශ්මීරයේ පවතින නොනවතින යුද්ධය මෙන් තත්වයක් මෙරටද ඇතිවීමට ඉඩ තිබේ. ඒ සදහා රටපුරා විසිරී සිටින සුලුතර ජනකොටස්වලමෙන්ම බටහිර රටවල ජීවත්වන ධනපති ජනයාගේ සහයෝගයද මෙරට සුලු ජන කණ්ඩායම්වලට හිමිවනු ඇත.

     මුදල් අධිකව වැයවන ක්‍රමයක් බැවින් සන්ධීය ක්‍රමය වඩා උචිතවන්නේ ධනවාදී රටවල් වලටය. භූමියෙන් විශාල රටවල් වාර්ගික බෙදීම් තුළින් කුඩා රාජ්‍යයන්වලට ඛණ්ඩනය වීම වැළැක්වීමට මෙය එම රටවලට උචිතය. ඒ කෙසේවුවද සන්ධීය ක්‍රමය පවතින ධනවත් රටවල්ද ඔවුන් බලාපොරොත්තුවූ අභිප්‍රායන් එමගින් ළගාකරගෙන නැත. එයට හොදම උදාහරණ ලෙස කැනඩාව හා ස්පාඤ්ඤය පෙන්වාදිය හැකිය. එම රටවල් සන්ධීය ක්‍රමය ස්ථාපිත කරනු ලැබුවේ ඒවායෙහි පවතින ජාතිකවාදී ගැටලුවට විසදුමක් වශයෙනි. නමුත් එයින් අපේක්ෂිත අරමුණු ඉටුවී නොමැත. එනම් එමරටවල ජාතිකවාදී ගැටලුව අවසන් වීමක් සන්ධීය ක්‍රමය තුළින් සිදුවී නොමැත.

   ශ්‍රී ලංකාවට මේ අනුව සන්ධීය ක්‍රමය උචිත නොවන බව වඩ වඩාත් පැහැදිළිය. ලංකාවේ පවතින ආර්ථිකය, භූමිප්‍රමාණය, වාර්ගික රටාව, මධ්‍ය ජනගහනය ආදී සාධක හේතුවෙන් මෙය නොගැළපෙන බව පෙන්වාදිය හැකිවේ.
                                                                                    -දුලාන් තනුශංක සිල්වා-
                                                                                     තෙවන වසර
                                                                                     පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ර්‍
ඔබගේ පක්ෂ විපක්ෂ අදහස් පහතින් යොමුකරන්න......!!!!!

No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger