IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ලාංකීය සිනමාව මියයයිද? මියගොසින්ද?

Post by Unknown | at 9:13 AM | 2 Comments | Categories

             ලාංකීය සිනමාව මියයයිද? මියගොසින්ද?



මා මෙම ලිපිය ලිවීම සදහා පෙළඹුණේ "ලාංකීය සිනමා ශාලාවේ ඛේදවාචකය" නමින් පලවූ ලිපියට හොද ප්‍රතිචාර ලැබුණු නිසාය. ලාංකීය සිනමාව ඇදවැටීමට සිනමා ශාලාව බලපානු ලබන එක් සාධකයක් පමණි. එදා මෙදාතුර එහි පරිහානියට හේතු සාධක රැසක් බලපාන ලදී. ඒ පිළිබද විමසා බැලීමක් මෙම ලිපියෙන් සිදුකෙරේ.

2012 වසර වනවිට සිංහල සිනමාවට වසර 65ක් සම්පූර්ණ වී හමාරය‍. 1947 ජනවාරි මස27 වන දින ප්‍රථම සිංහල කථානාද  චිත්‍රපටය 'කඩවුණු පොරොන්දුව' නමින් එළි දක්වනු ලැබීය. මුල්කාලයේ මෙලෙස නිපදවූ චිත්‍රපට චිත්‍රාගාරයක් තුළ නිෂ්පාදනය කරනු ලැබූ ඒවාය. එනම් බාහිර පරිසරයේ, එළිමහන් රග දැක්වීම් සිදුනොවූ අතර ගෘහස්ථ මැදිරියක් තුළ (indoor) චිත්‍රපට නිෂ්පාදනය විය. මෙහි වෙනසක් සිදුවූයේ 1956 වර්ෂයේදීය. එනම් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ‍'රේඛාව' චිත්‍රපටය චිත්‍රාගාරයකින් පරිබාහිරව එය නිෂ්පාදනය කර සිංහල සිනමාවට නව වෙනසක් ඇති කළේය. 1964 දී ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය එළි දක්වනු ලැබීය. එය ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රගපෑ 'රන්මුතුදූව' චිත්‍රපටයයි. මාගේ මේ ලිපියේ අරමුණ ලාංකීය සිනමා වංශකතාව ඔබවෙත ගෙනහැර දැක්වීම නොවේ. මෙහි මා ඉදිරිපත් කරන කරුණු අවබෝධ කරගැනීමට පහසුවක් වන බැවින් මම එසේ විස්තර කළෙමි‍.

1960 හා 1970 දශක ලාංකීය සිනමාවේ ස්වර්ණමය යුගයන් ලෙස සැලකේ. මෙම යුගයන් පමණක් ස්වර්ණමය යුගයන් වූයේ ඇයි? එම යුගවලින් පසුව සිංහල සිනමාවට එසේ වීමට නොහැකි වූයේ මන්ද? එම දශක වලදී සිංහල සිනමාව හින්දි සිනමාවට සම තත්වයේ තිබූ බව බොහෝ විචාරකයෝ අදහස් පලකරති. නමුත් වර්තමානයේ හින්දි සිනමාව අපිව අභිබවා ගොස් බටහිර සිනමාවටද අභියෝග කරන තත්වයට වැඩිදියුණු වී තිබේ. අපි තාමත් 1960 දශකයේය. නැත්නම් ඊටත් වඩා ආපස්සට ගොසින්ය. මෙම තත්වය ඇතිවීම සදහා වගකිවයුත්තෝ කවරහුද? අපි එම වගකිවයුත්තන් සොයා යමු.

ලාංකීය සිනමාව පසුගාමී වීමට බලපෑ ප්‍රධානම හේතුසාධකය ලෙස දැක්විය හැකිවන්නේ සිනමාහල්වල ක්‍රියාකාරිත්වයයි. ඒ පිළිබදව මම මෙම ලිපියෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාටපාරොත්තු නොවෙමි. මන්ද ඒ පිළිබදව මාගේ පෙර ලිපියෙන් පුළුල්ව විග්‍රහ කළ බැවිනි. “ලාංකීය සිනමා ශාලාවේ ඛේදවාචකය නමින් පලවූ එම ලිපිය නොකියවූ පාඨකයන්ට මෙතනින් ගොස්එය කියවීම කළ හැකිය.

සිංහල සිනමාව ඇදවැටීම සදහා ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන සාධකයක් වන්නේ පැරණි චිත්‍රපට සංරක්ෂණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් නොතිබීමයි. එනම් මුල් කාලයේ සිට මේ දක්වා නිපදවූ චිත්‍රපට සංරක්ෂණය කිරීම සදහා අවශ්‍ය නවීන තාක්ෂණික ක්‍රමවේදයක් නොතිබීම නිසා පැරණි චිත්‍රපට රැසක් දැනටමත් විනාශ වී තිබේ. සිනමා තුළින් ඉදිරි ගමනක් යාමට  නම් පැරණි චිත්‍රපට නිසි ලෙස සංරක්ෂණය කරගත යුතුය. සංදේශය, රන්සළු, ගොළු හදවත, කුරුළු බැද්ද, පරසතුමල්, සිකුරු තරුව වැනි චිත්‍රපට දැන් මියගිහින්ය. ඒවා යළි කිසිදාක පණගන්වන්නට හැකියාවක් නැත.

මෙහිදී ලෙස්ටර් ‍ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය චිත්‍රපටය ගත් කල්හි එය 1960දී තිරගත වූ අතිවිශාල ප්‍රේක්ෂක ආදරය දිනාගත් චිත්‍රපටයකි. එය එකලදී නිෂ්පාදනය කිරීම සදහා අති විශාල පිරිවැයක් දරා තිබේ. අති දැවැන්ත බලකොටුවක් පුපුරා යන දර්ශනයක් අඩංගු මෙය එකල බටහිර සිනමාවටද සමකළ හැකි මට්ටමේ සිදුවීම්වලින් ගහණ වූ චිත්‍රපටියන් විය‍... මෙම චිත්‍රපටය ලැබූ ජනප්‍රියත්වය හේතුකරගෙන එහි මුල් පිටපත මගින් පිටපත් විශාල සංඛ්‍යාවක් පිටපත් කර ගැනීම හේතුවෙන් එහි මුල් පිටපත විනාශවී තොස් තිබේ. සෙසු පිටපත්ද අද සොයාගැනීමට නැත. නිසි පරිදි සංරක්ෂණය නොවීම හේතුකරගෙන එදා මෙදා තුර බිහිවූ සිංහල චිත්‍රපට අතුරින් 50%කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී ගොස් හෝ විනාශ වෙමින් පවතින්නේය.

මෙහිදී තිස්ස නාගොඩවිතාන මහතා පැරණි චිත්‍රපට මිලදී ගෙන එය සංරක්ෂණයට කරන දායකත්වය පැසසීමට ලක්කළ යුතුය. එක් පුද්ගලයෙකුට පමණක් මෙවන් කර්තව්‍යක් තනිවම කිරීමට නොහැක. ඔහු සිදුකරන මෙම ක්‍රියාමාර්ගය ඇතැමෙකුට විහිළුවක් සේ පෙනෙන්නට පුළුවන. නමුත් මගේ අදහස වන්නේ සිනමාවේ ඉදිරි ගමනත් යාමට නම් පැරණි සිනමා කෘති සුරක්ෂිතව තිබිය යුතු බවයි. උදාහරණ ලෙස හොලිවුඩ් සිනමාව ගත්විට ඔවුන්ගේ සිනමාවේ මුල් කෘති තවමත් එදා තිබූ පමණින්ම සුරක්ෂිතව පවතී. අවාසනාවකට ලංකාවට සිටින්නේ එවන් එක් ප්‍රධාන සංරක්ෂකයෙකු පමණි. රජය මැදිහත් වී ඉක්මනින් සංරක්ෂණාගාරයක් ඇතිනොකළහොත් තවත් වටිනා චිත්‍රපට රැසක් විනාශ වී යනු ඇත. ඒ අනුව හෙට බිහිවන චිත්‍රපටයද විනාශ වී යාමට වැඩුකලක් ගතනොවනු ඇත.



ලාංකීය සිනමාව බිදවැට්ටවීමට රාජ්‍ය ආයතන අනූපමේය මෙහෙවරක් ඉටුකරයි. ඒ අතරින් ජාතික චිත්‍රපට සංස්ථාවේ රැගුම් පාලක මණ්ඩලය අමතක නොකරම බැරිය. ප්‍රංශයේ කෑන්ස් සිනමා උළලේදී සම්මානයක් දිනාගත් විමුක්ති ජයසුන්දරගේ 'සුළග එනු පිණිස', අශෝක හදගමගේ 'අක්ෂරය' මෑත ඉතිහාසයේ එසේ තහනමට ලක්වූ විශිෂ්ට සිනමා කෘතන් වේ. මෙසේ සිනමාබ කෘති තහනමට ලත්වීමට රාජ්‍ය බලපෑම තදින්ම හේතුසාධක වේ. ‍මෙහිදී පසුගිය වසර කිහිපය තුළ සිනමා කෘතියක් තහනමට ලත් නොවූයේ යැයි ඇතැමෙකුට තර්ක කරන්නට පුළුවන. ඒ සදහා දියහැකි පිළිතුර වන්නේ තහනමට ලක්වේ යැයි සැක සිතෙන තේමාවන් ය‍ටතේ තැනෙන සිනමා නිර්මාණ සදහා මුදල් යෙදවීමට නිෂ්පාදකවරුන් අකමැති වීමයි. හොද සිනමා නිර්මාණ කිරීම සදහා නිෂ්පාදකවරුන් ඉදිරිපත් නොවීම සිනමාව කඩාවැටීමට ප්‍රබල සාධකයක් වී ඇත. එමෙන්ම දේශපාලනික වශයෙන් රජයන්ට හිතකර චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය වීමද අභාග්‍ය සම්පන්න කරුණකි. දේශපාලනික සාධකය චිත්‍රපට සදහා තේමාවන් රැසක් ඇති කේෂ්ත්‍රයක් වන අතර දිනපතා එමගින් නව තේමාවන් නිර්මාණය කරයි. නමුත් ඒ යටතේ තැනෙන චිත්‍රපට හුදෙක් නිර්මාණාත්මක භාවය ගිලිහුනු ඒවාය. මේ සදහා පෙරකී රැගුම් පාලක මණ්ඩලයේ මෙහෙවර ඉතා අගනේය.  

මෙරට නිසි ලෙස ක්‍රියාත්මකවන රංග පාසලක් නොතිබීම සිනමාවේ පරිහානියට බලපෑ තවත් එක් ප්‍රබල සාධකයකි. රංග පාසලකින් සිදුකෙරෙන්නේ නළු නිළියන් බිහි කිරීම පමණක් නොවේ. සිනමාවට අදාළ සෑම කේෂ්ත්‍රයක්ම එමගින් ආවරණය වේ. උසස් සිනමා කෘති බිහිනොවීම සදහා මෙය ප්‍රබල හේතුවක් වී ඇත. අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා වැන්නවුන් යටතේ රංගනය හැදෑරිය හැකි ආයතන කිහිපයක් ලංකාවේ තිබුණද ක්‍රමවත්ව රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මකවන ආයතනයක් නොතිබීම ලාංකීය සිනමාවට තිබෙන සුවිශාල අඩුපාඩුවවකි.

චිත්‍රප‍ට හා ටෙලි නාට්‍ය ‍කේෂ්ත්‍ර දෙකක් වුවද ටෙලි නාට්‍ය කේෂ්ත්‍රයේ නැගීමද සිනමාව පසුගාමී වීමට බලපා තිබේ. ලංකාවේ වර්තමානයේ වැඩි සිනමා ප්‍රේක්ෂක පිරිසක් සිටින්නේ නගරබද ප්‍රදේශවලය. ඔවුන්ගේ කාර්යබහුල දිවිපෙවතින් මදක් අත්මිදීමට ඔවුහු චිතුපටියන් බැලීමට යති. නමුත් ගම්බද මිනිසුන් වැඩිවශයෙන් රූපවාහිනිය නරඹීමට යොමුවී සිටී. එයින්ද ටෙලි නාට්‍ය නැරඹීම ඔවුන්ගේ ප්‍රධාන කර්තව්‍යයයි. මේ නිසා චිත්‍රපටයක් බැලීමට නොයන තරම්ය. මේ නිසා ගාමිය පෙදෙස්වල සිනමා ප්‍රේක්ෂකයන් අඩුවීම සිනමාවේ පර්හානියට බලපා තිබේ. ඒ අනුව වක්‍රාකාරයෙන් රූපවාහිනිය හා ටෙලිනාට්‍ය ලාංකීය සිනමාවේ පරිහානියට හේතුසාධක වී තිබෙන බව පෙන්වාදිය හැකිය. 

වසර 65 ක් පැරණි ලාංකීය සිනමාව අද අපෙන් බොහෝ දුරකට ගොසින්ය. ඒ සදහා හේතු කාරණා රැසක් බලපා තිබෙන බව මෙම ලිපිය කියවීමෙන් ඔබට පසක් වන්නට ඇත. අපි ලාංකිකයෝ වශයෙන් අපේ සිනමාවට මහත් ආදරයක් දක්වයි. නමුත් එය දැන් මියයමින් තිබේ. එය මියයන්නේ වයස වැඩි නිසාද? නැත. විවිධ අංශයන්ගේ නොමනා ක්‍රියාකලාපය එයට දැඩි ලෙස බලපා ඇත. එවන් තත්වයන් මගහැර ගැනීමෙන් පමණක් ලාංකීය සිනමාව නැවතත් ගොඩනැංවිය හැක.

මෙම ලිපිය කියවූ ඔබ එයට පක්ෂ විපක්ෂ අදහස්  පහතින් යොමු කරන්න.
                                       -දුලාන් තනුශංක සිල්වා
                                        තෙවන වසර
                                        පේරාදෙණිය විශ්ව විද්‍යාලය

2 comments:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger