IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

නැනෝ තාක්ෂණය වෙත අපි යන දවස අත ළගයි- 2 කොටස

Post by Unknown | at 8:51 PM | 3 Comments | Categories

                    නැනෝ තාක්ෂණයේ හොද නරක


නැනෝ තාක්ෂණයේ ඉතිහාසය හා නැනෝ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම ගැන පෙර ලිපියෙන් මීට දින කිහිපයකට ඉස්සෙල්ලා ඔයගොල්ලො කියවන්න ඇති. ඒ ලිපිය කියවීමට නොහැකිවූ අයට මෙතනින් ගිහින් ඒක කියවන්න පුළුවන්. එතකොට මේ ලිපියෙන් කියවෙනදේ හොදට තේරුම්ගන්න පුළුවන් වෙයි. මේ ලිපිය ඒකෙ දෙවන කොටස විදියට ඉසිරිපත් කරන්නෙ පෙර ලිපිය ගොඩක් අය කියවලා තිබුණ නිසා සහ දෙවන ලිපියත් ලියන බවට ලබාදුන් පොරොන්දුවක් නිසා. මෙහිදී මම නැනෝ තාක්ෂණය අංශ තුනක් යටතේ පැහැදිළි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි,

1. නැනෝ තාක්ෂණය ඵලදායි ලෙස භාවිතා කළ හැකි කෙෂ්ත්‍රයන්
2. අනාගතයේදී නැනෝ තාක්ෂණික සිහිනය සැබෑ කරගත හැකි වේද?
3. නැනෝ තාක්ෂණය ලෝකයේ පැවැත්මට අහිතකර වේද?

නැනෝ තාක්ෂණය ඵලදායි ලෙස භාවිතා කළ හැකි කෙෂ්ත්‍රයන්

නැනෝ තාක්ෂණය ඵලදායි ලෙස භාවිතා කළ හැකි කෙෂ්ත්‍රයන් ලෙස වෛද්‍ය විද්‍යාව, පරිගණක විද්‍යාව, බලශක්තිය, පාරිභෝගික ද්‍රව්‍ය, ආහාර නිෂ්පාදනය, පරිසර දූෂණය අවම කිරීම පෙන්වාදිය හැකිය. එමෙන්ම තවත් කෙෂ්ත්‍ර ගණනාවක් සදහා නැනෝ තාක්ෂණය විශ්වාසදායි ලෙස යොදාගත හැකිය. අප ඉහත නම්කළ කෙෂ්ත්‍ර සදහා  නැනෝ තාක්ෂණය ඵලදායි ලෙස සම්බන්ධ කරගත හැකි ආකාරය වෙන් වෙන්ව විමසා බලමු.

වෛද්‍ය විද්‍යාව අනාගතයේදී අනිවාර්යයෙන්ම නැනෝ තාක්ෂණය හරහා දියුණු වියයුතු කෙෂ්ත්‍රයකි. මන්ද පිළිකා, ඒඩ්ස්, හදවත් රෝග, දියවැඩියාව වැනි රෝග සදහා ප්‍රතිකර්ම සොයා ගැනීමට මෙම තාක්ෂණය දායක කරගත හැකිය. එමෙන්ම රෝග වැළැක්වීම, රෝග විනිශ්චය, ප්‍රතිකාර, ජීවවිද්‍යාත්මක රොබෝවරු, කෘතිම අස්ථි ආදිය නැනෝ වෛද්‍ය විද්‍යාව මගින් අනාගතයේදී ලෝකයට දායාද වියහැකි සම්පත්ය. නවීන වෛද්‍ය විද්‍යාවේ පිළිකා සෛල මර්දනයේදී ඖෂධය නියමිත මාත්‍රාවෙන් යුතුව අවශ්‍යකරන සෛලයට ලබාදීම ඉතා අපහසු කාර්යයකි. නැනෝ රොබෝවරයෙකු භාවිතයෙන් ප්‍රතිකාර අවශ්‍ය පිළිකා සෛලය වෙතගොස් එම සෛලයටම ප්‍රතිකාර කළ හැකි තාක්ෂණයක් අනාගතයේදී බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

පරිගණක විද්‍යාවේ දියුණුව වත්මන් ලෝකයේ ඉදිරි ගමන්මගට අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයේ තිබෙන සිලිකන් සහිත මවුපුවරුවක් පරිගණකයේ වේගය තවත් වසර කිහිපයකදී තවදුරටත් වැඩිකර ගැනීමට නොහැකිවන අතර එහිදී නැනෝ තාක්ෂණයේ පිහිට පැතීමට සිදුවී තිබේ. මෙයට විසදුමක් ලෙස අනාගතයේදී ක්වන්ටම් පරිගණක (Quantum Computers) නැනෝ තාක්ෂණයේ පිහිටෙන් ලෝක වෙළදපොළට පැමිණීමට නියමිතය. 

බලශක්තිය නිපදවීම සදහාද නැනෝ තාක්ෂණය භාවිතා කළ හැක. තවත් දශක කිහිපයකින් ඛනිජතෙල් අවසන්වන බැවින් බලශක්තිය නිපදවීමට විකල්ප ප්‍රබල තාක්ෂණයක් භාවිතා කළ යුතු වේ. නැනෝ තාක්ෂණය යොදාගනිමින් සූර්ය බලශක්තිය යටතේ බලය නිෂ්පාදනය, හයිඩ්‍රජන් විද්‍යුත් කෝෂ, හයිබ්‍රිඩ් විද්‍යුත් වාහන, තාප පරිවාරක, විදුලි සම්ප්‍රේෂණය, තාප විද්‍යුතය ආදිය මෙහිදී ක්‍රියාවට නැංවිය හැක. එසේ කළහොත් ලෝකයේ බලශක්ති අර්බුදය ඉක්මනින්ම විසදී යනු ඇත.

පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය සදහාද නැනෝ තාක්ෂණය යොදාගත හැකිය. රෙදිපිළි හා ඇගළුම් නිෂ්පාදනය, උෂ්ණත්ව සංවේදී ඇදුම්, වෙඩි නොවදින සැහැල්ලු ජැකට්, පිගන් භාණ්ඩ, ක්‍රීඩාභාණ්ඩ, රථවාහන කොටස්, විෂබීජනාශක ආදිය මේ හරහා නිපදවිය හැකිය. සාම්ප්‍රදායික රෙදිපිළි ආදිය ගත්කල එහි ඇති කුඩා සිදුරුමත කුණු දූවිලි ආදිය රැදීම සිදුවේ. නමුත් නැනෝ තාක්ෂණය හරහා සිදුවන රෙදිපිළි ගෙතීම සිදුවන්නේ නැනෝ පරිමාණයෙන් නිසා එවැනි දෙයක් සිදුනොවේ. තවද ජලය, තෙල් ආදිය නොරැදෙන ලෙසට රෙදිපිළි ආදිය නිපදවීමට මෙම තාක්ෂණය සමත් වේ. මේ ආකාරයට අනෙකුත් පාරිභෝගික භාණ්ඩද ඉතාමත් සුරක්ෂිත අයුරින් නිපදවීමට නැනෝ තාක්ෂණයට හැකියාව ලැබෙනු ඇත.

අනාගතයේදී නැනෝ තාක්ෂණික සිහිනය සැබෑ කරගත හැකි වේද?

සත්‍යවශයෙන්ම පැවසුවහොත් අප ජීවත්ව සිටින නුදුරු අනාගතය තුළ අපට  නැනෝ තාක්ෂණයේ නව්‍ය නිෂ්පාදනයන් දැකබලා ගැනීමට වාසනාව උදාවනු ඇත. ලෝකයේ විද්‍යාඥයන් මේ වනවිටත් නැනෝ තාක්ෂණික පර්යේයේෂණ සිදුකිරීම මෙයට හේතුවයි. මෙලෙස බිහිවන නිෂ්පාදනයන් මිලෙන් ඉතාමත් අඩුවනු ඇතිබවට විශ්වාස කෙරේ.

විද්‍යුත් සන්නිවේදන කෙෂ්ත්‍රයේ සුවිශාල දියුණුවක් නැනෝ තාක්ෂණය මගින් බලාපොරොත්තු විය හැකිය. විශේෂයෙන් විවිධ මාදිලිවල ජංගම දුරකථන විකිණීම අනාගතයේදී වෙළදපොලේ සුලභ දසුනක් වනු ඇත. එමෙන්ම රැහැන් සහිත දුරකථනවලද වෙනස්කම් සිදුවනු ඇත. රූපවාහිනී ගුවන්විදුලි කෙෂ්ත්‍රවලටද මෙම වෙනස පොදුය. එමෙන්ම 'හැරී පෝටර්' චිත්‍රපටවල ඔබ නරඹා ඇති චලන ඡායාරූප ආදියද පුවත්පත්වලදී බලාගත හැකිවන කාලය වෙත අප නැනෝ තාක්ෂණය හරහා ගමන් කරමින් සිටී.

වඩා සැහැල්ලු නමුත් ඉතා ශක්තිමත් ද්‍රව්‍ය නැනෝ තාක්ෂණය මගින් බිහිවීමත් සමග අභ්‍යවකාශ යානා හා ගුවන් යානා නිෂ්පාදනය වඩා දියුණු තත්වයකට පත්වනු ඇත. අභ්‍යවකාශ හා ගුවන් චාරිකා සදහා යන වියදම සැළකියයුතු ලෙස අඩුවනු ඇති අතර ගුවන්ගමන් වඩාත් වේගවත්වනු ඇත. ආතර් සී. ක්ලාක් මහතා අනාවැකි පලකළ අභ්‍යවකාශ සොපානය යතාර්ථයක් වනු ඇත.

මීට අමතරව කෘෂිකර්මයේ හා ආහාර නිෂ්පාදනයේ ඇතිවන දියුණුව නිසා ආහාර අර්බුදයක් කිසිවිටෙකවත් පැන නොනගිණු ඇත. එමනිසා ස්වයංපෝෂිත ලෝකයක් නැනෝ තාක්ෂණය හරහා අපට බලාපොරොත්තු විය හැක. කෙසේ වුවද නැනෝ තාක්ෂණික සිහිනය අනාගතයේදී සැබෑවක් වන නිසා යස ඉසුරින් සපිරි ලෝකයක් අපට බලාබොරොත්තු විය හැක. නමුත් එක් ප්‍රධාන ගැටළුවක් පවතී. මේ තරම් දියුණු සියුම් තාක්ෂණයක් ලෝකයාට හිතකර මෙන්ම අහිතකර අයුරින්ද බලනොපාන බව කිවහැක්කේ කාටද?   

නැනෝ තාක්ෂණය ලෝකයේ පැවැත්මට අහිතකර වේද?

නැනෝ තාක්ෂණය ලෝකයේ පැවැත්මට හිතකර මෙන්ම අහිතකර අහිතකර අන්දමින්ද  යොදාගත හැකිය. ලෝකයේ සෑම දෙයකම යහපත් පැත්තක් මෙන්ම අයහපත් පැත්තක් තිබෙන ධර්මතාවය නැනෝ තාක්ෂණයටද පොදුය. නැනෝ තාක්ෂණය අහිතකර ලෙස බලපානු ලබන හා එය අහිතකර අන්දමින් යොදාගත හැකි කෙෂ්ත්‍රයන් පිළිබදව මෙම කොටසින් ඉතා සංක්ෂිප්තව විමසා බලමු. 

ඉතා කුඩා ප්‍රමාණයේ යුදමය අවි නිෂ්පාදනයට රුකුළක් වීම මෙහි තිබෙන ප්‍රධානතම අහිතකැ අංශයකි. 20 වන සියවසේදී න්‍යෂ්ටික අවි මගින් ලෝකයේ විශාල විනාශයක් සිදුකළ ආකාරයට මෙම නැනෝ අවි තාක්ෂණය ත්‍රස්තවාදීන් අතට පත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකිය. ඒ තුළින් අප බලාපොරොත්තුවන සශ්‍රීක ලෝකය වෙත යාමේ සිහිනය, සිහිනයක් පමණක්ම වනු ඇත.

නැනෝ අංශු හරහා විවිධ රෝගාබීජ, වෛරස් ලොව පුරා පැතිරවීමට සැළැස්වීම මෙහි තිබෙන අහිතකර බලපෑමකි. විවිධ පුද්ගලයන්ට පරිගණක වෛරස් නිපදවන ආකාරයට නැනෝ වෛරස් නිපදවා වාතයට මුසුකිරීමෙන් ලෝකය ව්‍යසනකාරී තත්වයකට පත්කළ හැකිය. මිනිසුන්ගේ මුඛය හා ස්වසන මාර්ගය තුළින් මෙම වෛරස ඇතුළුවී විවිධ රෝගාබාධ ඇතිකළ හැක.

මේ ආකාරයට නැනෝ තාක්ෂණය විශාල ලෙස අහිතකර බලපෑම් ඇතිකරයි. නමුත් නැනෝ තාක්ෂණය ඉදිරියට යව ගමන්මග ඇහිරීම සුදුසු නැත. කළයුතුවන්නේ නැනෝ තාක්ෂණයේ අවදානම හොදින් වටහාගෙන එයින් සිදුවිය හැකි හානිදායි තත්වයන් අවමවනසේ නිෂ්පාදනයන් සිදුකිරීමයි. හානිකර නිෂ්පාදනයන් බිහිවන්නේ නම් එයට තාක්ෂණයෙන්ම පිළිතුරු ලබාදිය යුතුය. එවිට අප බලාපොරොත්තුවන නැනෝ තාක්ෂණික සිහින ලෝකය වෙත අපගේ ජීවිතකාලය තුළදී ළගාවීමට හැකියාව ලැබෙනු ඇත.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය     

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. thank you :) it's a good article and i learn a lot from it

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger