IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ශ්‍රී ලංකාවේ ගබ්සාව (Abortion in Sri Lanka)

Post by Unknown | at 9:25 AM | 1 Comments | Categories
                ගබ්සාව නීතිගත කරන්න අවශ්‍යද?


මේ ලිපියෙන් මා බලාපොරොත්තුවන්නේ ගබ්සාව පිළිබදව විද්‍යානුකූලව විමසාබැලීම නොව එහි සදාචාරාත්මක බව, එයට ශ්‍රී ලංකාවේ දක්වන අනුකූලතාවය සහ එහි සාධාරණ අසාධාරණ බව  පිළිබදව විමසා බැලීමයි. ගබ්සාව සාපරාධී හා සාපරාධී නොවන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. දරු ගැබට සති 28 කට පෙර කලලය ස්වාභාවිකව උපත් මාර්ගය හරහා පිටවී යාම ස්වාභාවික ගබ්සාවකි. එනම් එය සාපරාධී නොවේ. එසේ නොවී කෘත්‍රිමව එයට හානිකර විනාශකර දැමීම සාපරාධී ගබ්සාවකි. එසේම එය ශ්‍රී ලංකා නීතියට අනුව පටහැනි ක්‍රියාවකි. ගබ්සාව සදහා ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය පිළිබදව විමසා බලමු.

ශ්‍රී ලංකාව තුළ නීත්‍යනුකූල ලෙස ගබ්සාවක් සිදුකළ හැකිවන්නේ කුසතුළ පවතින දරුගැබ හේතුවෙන් මවගේ ජීවිතයට තර්ජනයක් එල්ලවන්නේ නම් පමණි. එහිදී වෛද්‍යවරුන් විසින් ඖෂධ භාවිතයෙන් හෝ ශල්‍යකර්ම මගින් ගබ්සාව සිදුකරනු ලබයි. ලංකාව තුළ දැනටත් ක්‍රියාත්මකවන්නේ 1833දී පැනවූ ගබ්සා නීතියයි. මෙයට පරිබාහිරව සිදුකරන සෑම ගබ්සාවක්ම අපරාධයක් ලෙස සැලකේ.

ස්ත්‍රී දූෂණ හේතුවෙන් බාල වයස්කාරියන් ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීම නිත්‍යානුකුල කිරීමේ නව නීති ගෙන ඒමට රජයේ අවධානය යොමු වී තිබේ. මීට අමතරව ව්‍යාභිචාරය හෙවත් පවුලේ සමීප ඥාතීන්ගෙන් අතවරයට ලක්වී(කැමැත්තෙන් හෝ අකමැත්තෙන්) ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීමටද අවස්ථාව මෙහිදී උදාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා එක්ව ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සිදුකරයි. මෙය තවමත් ක්‍රියාත්මක කිරීමක් පිළිබදවනම් තවම වාර්තාවන්නේ නැත.

ශ්‍රී ලංකාවේ දිනකට උපත් 700-800ත් අතර ප්‍රමාණයක් සිදුවේ. නමුත් ගබ්සා කොපමණ ප්‍රමාණයක් සිදුවන්නේ දැයි වාර්තාවන්නේ නැත. කෙසේ වුවත් දිවයින පුරා දිනකට නීත්‍යනුකූල නොවන අයුරින් ගබ්සා 20-50 අතර ප්‍රමාණයක් සිදුවන බව විශ්වාස කළ හැකිය. මෙලෙස ලංකාව පුරා ගබ්සා සිදුකිරීමේ මධ්‍යස්ථාන විසිරී තිබෙන බව කාටත් නොරහසකි. ඇතැම් ස්ථානවල රජයේ ලියාපදිංචි වූ වෛද්‍යයරුන්ද මෙම කාර්යයන් සිදුකරන බව වාර්තාවේ. පොලිස් වැටලීම්වලදීද මේබව තහවුරුවී තිබේ.

ගබ්සාවේ අහිතකර බලපෑම

එමෙන්ම අසම්පූර්ණව කරන ගබ්සාවෙන් ඉතිරි වන කලල කොටස් ගැබ තුළ කුණු වීම නිසා එම විෂබිජ ශරීරයට එකතු වීම නිසා රුධිරය විෂ වීමේ තත්ත්වයන් ඇතිවේ. තවද සාපරාධී ගබ්සාවෙන් ප‍්‍රජනන පද්ධතියට සිදුවන හානි සහ ආසාදන තත්ත්ව හේතුවෙන් නැවත කිසිදා ගැබ් ගැනීමක් සිදුනොවී එම කාන්තාව සදාකාලික වඳ භාවයට පත්වීමටද ඉඩකඩ ඇත.

සාපරාධී ගබ්සා සිදුකළ පසු මවට අධික රුධිර වහනයන් ඇති වී කම්පන තත්ත්වයට ලක්වේ. එමෙන්ම අනාරක්ෂිත උපකරණ භාවිතය නිසා මව දරුණු ආසාදනයන්ට ගොදුරු වේ. නිසි තාක්ෂණය භාවිතා නොකර ගබ්සාව සිදුකිරීම නිසා මරණ සිදුවන අවස්ථා ඉතාමත් බහුලව දක්නට ලැබේ.

ගබ්සාව සදාචාරාත්මකද?

ගබ්සාව දෙස නෙත් විවර කර බැලීමේදී පැවසිය හැක්කේ මෙයින් විනාශයට ලක්වන්නේ උපදින්නට පෙරුම්පුරා සිටින මිනිස් ප්‍රාණියෙක් බවයි. බෞද්ධ දර්ශනයට අනුව ප්‍රාණඝාතය මහා පාපකාරී ක්‍රියාවකි. අනෙක් ආගම්වලද ප්‍රාණඝාතය නොකළ යුතුබව සදහන් වේ. අහිංසක පණ නලක් ගබ්සා කිරීම තුළ ඇත්තේද සානුකම්පිත ගැටලූවක් බව වරක් දෙවරක් නොව කීපවතාවක්ම සිතා බැලිය යුත්තකි. මව් කුසින් ඉපදී ලෝකය දෙස බලන දරුවා අනාගතයේදී මහා විද්‍යාඥයෙකු, වෛද්‍යවරයෙකු වැනි උසස් වෘතියක කෙනෙකු වන්නට පුළුවන. ඔහුගේ කාර්යභාරය ලෝකයේ පැවැත්ම තීරණය කරන මහා සොයාගැනීම්වලට මුලපිරීමක් විය හැක. එබැවින් ගබ්සාව නීතිගත කිරීමේ සදාචාරාත්මක අගය පිළිබදව මදක් සිතා බැලිය යුතුය.

ගබ්සාව දෙස එක්තරා කවියෙකු දුටු සානුකම්පිත දෘෂ්ටියක උපුටා ගැනීමක් මෙලෙස දැක්විය හැකිය. කුසතුළ සිටින දරුවා තමා ගබ්සාවට ලක්වන්නට නියමිත කෙනෙක් බව දැනගෙන ඔහුගේ අහිංසක ආයාචනය මෙම පැදි පෙළෙහි වස්තුබීජය බවට පත්වී තිබේ.


අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්‌සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..

ඔය දෙන්නගෙ රහස්‌ කතා..
මගෙ හදවත සිදුරු කලා..
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා..

ඔයා අඩන විට හිමිහිට..
මටත් ඇඩෙනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද..
ආසයි මට බලා ගන්න..

කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ...
තාත්තානේ... මට සිතුනා...

දොස්‌තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්‌ද?''...
අනේ අම්මෙ තව සිතන්න...
තාත්තාට කියලා දෙන්න...

කල පින් මගේ මදි හින්දද....
මට ඔය ලෝකය දකින්න....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක්‌ දෙන්න....

කල පින් මගේ ඇති වේවා....
මම ලෝකේට බිහි වේවා....
ඔය දෙන්නම බුදු වේවා....
මගේ ලෝකය මගේ වේවා....


වර්තමානයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කෙෂ්ත්‍රය දෙස අවධානය යොමුකරන කල්හි එය ඉතා ඉහළ මට්ටමක තිබේ. එමෙන්ම පවුල් සැලසුම් ක්‍රමද පෙරට වඩා බොහෝ දියුණුය. පවුල් සෞඛ්‍ය නිළධාරීන් විසින් ජනතාවට අවශ්‍ය කරන එම දැනුම නිතැතින්ම ලබා දේ. එබැවින් මෙවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතගත කිරීම අනිවාර්ය කරුණක් නොවේ. අසම්මත ලිංගික එකතුවීමක් සිදුවුවහොත් කළ යුතුවන්නේ උපත්පාලන පෙති භාවිතයයි. ගබ්සාව නීතිගත කරනවාට වඩා කළ යුතු වන්නේ උපත් පාලන පෙති, උපත් පාලන කොපු භාවිතය අනිවාර්ය කිරීමයි.

යම්හෙයකින් ව්‍යාභිචාරය හේතුවෙන් බාලවයස්කාර තරුණියක් ගැබ්ගැනීම සිදුවුවහොත් එහිදී ගබ්සාවක් සිදුකිරීම සදහා නීතියෙන් අවසරය තිබිය යුතුය. මන්ද ඇය සමාජයෙන් එල්ලවිය හැකි අපවාදයන්ට බියෙන් මෙය සගවා තබාගෙන සිට ගැබ්ගැනීමෙන් පසු එය අනාගතයට ගැටළුවක් වන බැවින් එම අවස්ථාවේදී ගබ්සාවක් සිදුකිරීම සදහා ඇයට සදාචාරාත්මක අයිතියක් තිබේ. එයට නීතියෙන්ද ඉඩප්‍රස්ථාව අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

මේ අයුරින් බලන කල ගබ්සාව ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස අර්ථගැන්විය හැකිය. ඕනෑම කෙනෙකුට රජයේ හෝ පෞද්ගලික රෝහලකින් නිදහසේ ගබ්සාවක් සිදුකිරීමේ අවස්ථාව කිසිසේත්ම ලබානොදිය යුතුය. පෙරකී පරිදි ස්ත්‍රී දූෂණයකදී ඇතිවන ගැබ් ගැනීමක් සදහා මෙය ක්‍රියාත්මක කිරීමේ වරදක් නැත. එයද යම්කිසි සීමා හා ප්‍රතිපත්ති රාමුවක් යටතේ සිදුකරන්නේ නම් වඩා හොදය. අවසාන වශයෙන් පැවසිය හැක්කේ ශ්‍රී ලංකාව තුළ ගබ්සාව සදහා නවනීති සංශෝධනයේදී සීමාසහිතව එම කාර්ය සිදුකරන්නේ නම් වඩාත් යෝග්‍ය බවයි. මන්ද එහිදී නැසෙන්නේ මෙලොව එළිය දකින්නට පෙරුම්පුරන හයහතර නොදත් අහිංසක මිනිස් ප්‍රාණියෙකු වන නිසාවෙනි.
-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය

1 comment:

  1. ඇත්තටම මේ වගේ වෙනස් විදිහක ලිපියක් දාපු එක ගැන මම දුලාන් සහෝදරයට ස්තූතිවන්ත වෙනවා.ලංකාවේ ගබ්සාව නිතී විරෝධී වැඩක්..මේ දේවල් වෙන එක පුළුවන් තරම් නවත්තන්න තවදුරටත් අළුත් නීති රීති ක්‍රියාත්මක වෙන්න ඕනේ..ඒ වගේම රටක් දුප්පත් වෙනකොටත් කොච්චර නීති රීති දැම්මත් ලමා අපචාර වැඩි වෙනවා.ඒක නිසා රටක දියුනුව අඩු වීමත් මේ වගේ ගබ්සා වැනි නීති විරෝධි ක්‍රියා වැඩි වෙන්න බලපානවා කියන එකයි මගේ අදහස.කොහොම වුනත් ලිපියෙන් අපිට ගොඩක් දේවලි ඉගෙන ගන්න තියෙනවා.දිගටම ලියන්න

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger