IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

නැනෝ තාක්ෂණය වෙත, අපි යන දවස අතළගයි.

Post by Unknown | at 6:21 PM | 1 Comments | Categories

                 නැනෝ තාක්ෂණයේ කල්කිරියාව...


වසර 2100 දී නැනෝ තාක්ෂණික ලෝකය තුළ ඔබ සිටිනවා යැයි උපකල්පනය කළහොත් පියාසර කරන කාර්, අභ්‍යවකාශයේ විනෝද චාරිකා, දරුණු රෝගාබාධ සදහා ප්‍රතිකාර, දරිද්‍රතාවයෙන් තොරවීම,.... ආදී ලෙස අපගේ සිහින ලෝකය තුළ පවත්නා බොහෝදෑ සැබෑවක් බවට පත්කර ගැනීමට හැකිවනු ඇත. ලෝකයේ ඉදිරි ගමන්මග තාක්ෂණික වශයෙන් වෙනස්කරන මූලිකම සාධකය බවට දැන් පත්වෙමින් තිබෙන්නේ නැනෝ තාක්ෂණයයි. මේ ගැන බොහෝ දෙනෙකු නමින් අසා තිබුණද ඒ පිළිබදව සංක්ෂිප්ත අවබෝධයක් ලබාදීම මාගේ මෙම ලිපියේ මූලිකම අරමුණයි. මන්ද නැනෝ තාක්ෂණය පිළිබද සිංහලෙන් රචිත පොත්පත් හා ලිපි ලේඛන ඉතාමත් සීමිත වන අතර සයිබර් අවකාශයේ රැදී සිටින්නන් නූතන තාක්ෂණයේ යාවත්කාලීනවීම් පිළිබදව දැනගැනීමට මහත්වූ දැනුම පිපාසයකින් සිටින බව මම දනිමි. එමනිසා ඔවුන් වෙනුවෙන්ම රචිත මෙම ලිපිය කියවා නැනෝ තාක්ෂණය පිළිබදව දළ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන.

නැනෝ තාක්ෂණයේ ඉතිහාසය

නැනෝ (nano) යන්න ග්‍රීක භාෂාවේ 'අගුටුමිට්ටා' යන තේරුම දෙන පදයකි. මේ තාක්ෂණය සදහා දීර්ඝ ඉතිහාසයක් නොමැත. කාර්මික විප්ලවය 18වන ශතවර්ශයේදී එක්සත් රාජධානිය මුල්කරගෙන ඇතිවීමත් සමග එය විවිධ අවධීන් පසුකරමින් වර්තමානය දක්වා පැමිණ තිබේ. මේ ආකාරයට කාර්මික විප්ලවයේ විවිධ අවධීන් හතරක් මේවන විට සම්පූර්ණ කර තිබේ. එහි හතරවන අවධිය දිවයන්නේ 1950 සිට වර්තමානය දක්වාය. එනම් වර්තමානයේ සිට අනාගතයේ යම් කාල වකවානුවක් දක්වා නැනෝ තාක්ෂණය කාර්මික විප්ලවයේ පස්වැනි අදියර වශයෙන් දිවයනු ඇත. 
                                                           එරික් ඩ්‍රෙක්ස්ලර්

නැනෝ තාක්ෂණයේ පියා වශයෙන් සලකනු ලබන්නේ එරික් ඩ්‍රෙක්ස්ලර් (Eric Drexler) නම් සුප්‍රකට විද්‍යාඥයාය. 1987 වසරේදී ඔහු විසින් ලියා ප්‍රකාශයට පත්කරනු ලැබූ Engines of Creation- The coming Era of Nanotechnology (නිර්මාණයේ යන්ත්‍ර- අනාගත නැනෝ තාක්ෂණ යුගය) නම් ග්‍රන්ථය තුළින් නිෂ්පාදන තාක්ෂණයේ මෙම නව විප්ලවය සම්බන්ධව කරුණු ඉදිරිපත් කර ඇත. සත්‍යවශයෙන්ම නැනෝ තාක්ෂණය පිළිබද සංකල්පය ලෝකයේ වඩාත් ප්‍රචලිත වූයේ මෙම කෘතියත් සමගය. 

කරුණු මෙසේ ඉදිරිපත් කළද නැනෝ තාක්ෂණය සිදුවන්නේ කෙසේදැයි ඔබට තවමත් පැහැදිළි නැතුව ඇති. මන්ද මා මෙහි විද්‍යාත්මක පැතිකඩ මෙම ලිපියේ තවමත් සදහන් නොකළ නිසාය. අපි මීළගට නැනෝ තාක්ෂණය ගොඩනැගී ඇති සන්දර්භය පිළිබදව විමසා බලමු.

නැනෝ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම

නැනෝ තාක්ෂණයේදී සිදුවන්නේ ඉතාමත් කුඩා අංශු භාවිතයකින් වැඩි කාර්යක්ෂමතාවයකින් යුක්ත විද්‍යාත්මක හා තාක්ෂණික මෙවලම් නිපදවීමයි. නැනෝ මීටර් 1 ක් යනු මීටරයකින් බිලියනයකින් එක් පංගුවකි. එනම් නැනෝ මීටර් එකක් මීටර් 10 (-9) බලයකි. මෙම තාක්ෂණයේ භාවිතාවන කුඩාම තැනුම් ඒකකය නැනෝ අංශුය. නැනෝ මීටර් මට්ටම වෙත යනවිට අපට දැකගත හැකිවන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ අණුය.

නැනෝ තාක්ෂණය පිළිබදව ප්‍රථමයෙන්ම ලොවට හෙළි කළේ නොබෙල් ත්‍යාගලාභී 'රිචඩ් ෆෙමන්' (Richard Fetman) නම් භෞතික විද්‍යාඥයාය. 1959 දී ඔහු විසින් කළ සුප්‍රකට දේශනයකදී පරමාණු, අණු එක්රැස්කර උපාංග සෑදීම පිළිබදව අදහස් ගැබ්වී තිබුණි. ස්වාභාවිකව පවතින ජීවවිද්‍යාත්මක පද්ධති (ජීව සෛල) ඉතා කුඩා වුවද ඉතාම කාර්යක්ෂම බවත් ඉතා ආශ්චර්යජනක නිර්මාණ ස්වාභාවිකව සිදුකළහැකි බවත් පෙන්වා දුන්නේය. එමනිසා මිනිසාට එවැනි කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන සිදුකළ හැකිවුවහොත් පුදුමාකාර නිර්මාණ බිහිකළ හැකිබව ප්‍රකාශ කළේය.

නැනෝ තාක්ෂණයේ පදනම වී ඇත්තේ පහළ සිට ඉහළට ළගාවීමේ (Bottom to approach)ක්‍රමවේදයයි. එනම් රසායනික අණු නියමිත පරිදි ඒකරාශී කිරීමෙන් හා රසායනික බන්ධනය කිරීම තුළින් අවශ්‍ය උපාංග නිෂ්පාදනය කිරීමයි. මේ තුළින් වඩාත් නිවැරදි, දෝෂ රහිත නිෂ්පාදන ලබාගත හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. 

නැනෝ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම මෙලෙස සංක්ෂිප්තව දැක්වීම ඉතාමත්ම අපහසු කරුණකි. මන්ද එය ඉතාමත් පුළුල් විෂය කෙෂ්ත්‍රයක් පුරා විහිදී පැතිරී තිබෙන බැවිනි. එය පුළුල්ව විග්‍රහ කිරීමට නම් මෙවැනි ලිපි කිහිපයක්වත් උවමනාය. එබැවින් නැනෝ තාක්ෂණයේ විද්‍යාත්මක පසුබිම හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ සිරසි අඩවියෙන් ඉදිරි දිනයන්වලදී ඔබට බලාපොරොත්තු වියහැක. විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන සැවොම හට එම ලිපි මහත්සේ වැදගත්වනු ඇත.

මෙම ලිපියේ දෙවන කොටසද අප අඩවිය තුළින් ඉදිරි දිනකදී ඔබ හමුවට තැබීමට මම බලාපොරොත්තු වෙමි. මෙම ලිපියේ දීර්ඝභාවය වැඩිවූ නිසා එලෙස කිරීමට මම සිතුවෙමි. ලිපියේ දෙවන කොටස තුළින්  නැනෝ තාක්ෂණය ඵලදායි ලෙස දායක කරගත හැකි කෙෂ්ත්‍රයන් හා නැනෝ තාක්ෂණය ලෝකයේ පැවැත්මට දායකවන ආකාරය ඇතුළත්ව එම ලිපිය සකස් වේ. එමනිසා දිගටම අපසමග රැදී සිටින ලෙස ඔබට ආරාධනා කරමින් ලිපිය අවසන් කරමි. මෙය වැදගත් යැයි හැගේ නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒවගේම ගැටළු මොනවහරි තියෙනවනම් ඒවත් යොමුකරන්න.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය


1 comment:

  1. නියම ලිපියක් දුලාන් සහෝ. නැනෝ තාක්ෂණය ගැන තාම සිංහලෙන් පලවෙන ලිපි අඩු නිසා මේ වගේ ලිපියක් ගොඩක් වටිනවා.මේ වගේ ලිපි දිගටම ලියන්න...

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger