IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

පිටසක්වළ ජීවීන් පිළිබද බෞද්ධ විග්‍රහය

Post by Unknown | at 10:23 PM | 2 Comments | Categories

             විශ්වය සම්බන්ධ බුදුන්වහන්සේගේ දැක්ම


Area 51 හි අභිරහස ලිපියේදී ලබාදුන් පොරොන්දුවක් මත හා එම ලිපියට හොද ප්‍රතිචාර ලැබුණු නිසා පිටසක්වළ ජීවීන් පිළිබද බෞද්ධ විග්‍රහය නමින් මේ ලිපිය ලියන්න මා යොමුවුණා. කව්රුත් දන්නා පරිදි මේ විශ්වයේ අප තනිවී නැති බව විවිධ විවිධ සාක්ෂි මත පදනම් වූ සත්‍ය කරුණක් වෙලා තියෙනවා. ඉතිං වසර 2550කට පෙර යුගයේ සිටි බුදුරජාණන් වහන්සේද නූතන විද්‍යාඥයන්ට පෙර විශ්වයේ අපට අමතරව තවත් ජීවීන් සිටිය හැකි බවට තොරතුරු සනාථ කළා.ඒ අනුව බුදුන් වහන්සේ දේශනා කළ විවිධ සූත්‍රවල එන විශ්වය හා පිටසක්වළ ජීවීන් සම්බන්ධ බෞද්ධ විග්‍රහය පිළිබදව අවධානය යොමු කිරීම මෙම ලිපියේ ප්‍රධානතම අරමුණයි.

බෞද්ධ දර්ශනය පැහැදිළි කරන ආකාරයට පිටසක්වළ ජීවීන් පිළිබද සෘජු විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වුවද ඒ තුළ ඉදිරිපත් කර ඇති ඇතැම් විග්‍රහයන් මෑතකාලීන විද්‍යාත්මක විග්‍රහයන් සමග නොගැළපීමක් නොපවතින බව දැකගත හැක. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ විශ්වය පිළිබදව සෙවීම ඵල රහිත ක්‍රියාවක් බවයි. මන්ද ඒ පිළිබදව තොරතුරු සොයා අවසාන කළ නොහැකි බවයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රාවකයන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් අසනලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් උන් වහන්සේ සෘජු පිළිතුරු ලබා දී නැත. නැතහොත් එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවන බවයි. විශ්වය පිළිබදව අනවශ්‍ය පරිදි කල්පනා කිරීමට උත්සාහ ගතහොත් ඇතැම්විට එවැනි පුද්ගලයෙකු පිස්සෙකු බවට පත්වීමට ඉඩකඩ ඇතිබැවින් ඒ පිළිබද සිතා නොබලන ලෙස ප්‍රකාශ කර ඇත්තේ මේ විශ්වයේ ඇති ගැඹුරුබව හෝ එහි අසීමිතබව නිසා විය හැකිය.

බුදුරජාණන් වහන්සේ විශ්වය සම්බන්ධ ප්‍රශ්නවලදී ඒවාට පිළිතුරු දීමෙන් වැළකී සිටියද ආනන්ද හිමියන් විසින් උන්වහන්සේගෙන් නැවත නැවතත් විශ්වය පිළිබදව ප්‍රශ්න කිරීම හේතුවෙන් ඒ සම්බන්ධව දුන් පිළිතුරක් බෞද්ධ මූලාශ්‍රවල සදහන් වේ. එහිදී උන්වහන්සේ ලෝකධාතු වර්ග තුනක් පිළිබදව පෙන්වාදී ඇත. ඒවා ඇසුරෙන් බුදුන් වහන්සේ විශ්වය පිළිබදව දේශනා කර ඇත්තේ මෙසේය.

"යම්තාක් සදහිරු දෙදෙන දිසාවන් ආලෝකමත් කරමින් පරිභ්‍රමණය වන්නේද එය 'සහස්සධා ලෝක ධාතුවයි'. එම සහස්සී ලෝකධාතුවේ චන්ද්‍රයෝ දහසකි. දඹදිව් දහසකි. මහා සමුදුරයෝ දහසකි....." යනුවෙන් දීර්ඝ ලෙස ඒ පිළිබදව විග්‍රහයක යෙදී තිබේ. මේ අනුව බුදුන් වහන්සේ මහා විද්‍යාඥයෙකු පරිද්දෙන් විශ්වය පිළිබදව විග්‍රහ කර ඇත. මෙහි විශේෂම වැදගත්කම වන්නේ බුදුදහමේ ඉගැන්වෙන සහස්සී, ද්වි සහස්සී සහ ති-සහස්සී ලෝකධාතු සංකල්පය නූතන විද්‍යාත්මක මත සමග සමීප සබදතාවයක් දැක්වීමයි. නූතන විද්‍යාව පෙන්වාදෙන ආකාරයට අප මේ ජීවත්වන චක්‍රාවාටය හැරුණුවිට තවත් මෙවැනිම වූ චක්‍රාවාට අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් තිබිය හැකිය. චක්‍රවාටයක් තුළ සෞරග්‍රහ මණ්ඩල විශාල ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි අතර ඒ තුළ වෙනත් ජීවීන් වාසය නොකරන්නේ යැයි කාටනම් විශ්වාස කළ හැකිද?    

බෞද්ධ දර්ශනය තුළ පෘථිවියේ ජීවය පහළවීම සම්බන්ධයෙන් වැදගත්කමක් හිමිකරගන්නා සූත්‍රයක් ලෙස 'අග්ගඤ්ඤ සූත්‍රය' පෙන්වාදිය හැකිය. එහි පවසන ආකාරයට පෘථිවියට ඩීවය වෙනත් ලෝකයකින් සංක්‍රමණයවී තිබේ. ඒ අනුව වෙනත් ලෝකවල ජීවීන්ට වාසය කිරීමට සුදුසු පාරිසරික තත්වයන් පවතිනබව බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි. නවීන විද්‍යාව ගත්විට ඒ තුළ විශ්ව සම්භවය පිළිබදව විවිධ විග්‍රහයන් හදුනාගත හැකි අතර 'පෑන්ස් පර්මියා' ඔවුන් හදුන්වාදී ඇත්තේ ඉහත බෞද්ධ දර්ශනයේම එන අදහස බව පෙනේ. එනම් මෙලොවට ජීවය පැමිණියේ පිසක්වළින් යන්නයි. 

                                            කළු කුහරයක්

මීට අමතරව මීගොඩ පඤ්ඤාලෝක හිමියන් දක්වන පරිදි මුගලන් මහරහතන් වහන්සේ වෙනත් ලෝකයක සිට කළ කතාබහක් පෘථිවි මහරහතන් වහන්සේලා පිරිසකට අසන්නට සැළැස්වූබව 'අරුණවති' නම් වූ සූත්‍රය මගින් පැහැදිළි කර ඇතැයි දක්වා තිබේ. මුගලන් හිමියන් බොහෝ සෘධි බලයන්ගෙන් පරිපූර්ණවූ හිමිනමකි. උන්වහන්සේ විශ්වයේ පවතින කළු කුහර භාවිතා කරමින් වෙනත් ලෝකයන් වෙත ක්ෂණිකව ගමන්ගත් බව ඇතැමුන්ගේ මතය වී තිබේ. එය හුදු මතයක්ම පමණක් මිස කිසිදු ස්ථානයක තහවුරු කරන්නේ නැත. 

ඉහත විග්‍රහයන් මගින් පැහැදිළිවන්නේ අපගේ ලෝකය හැරුණුවිට ජීවීන් වාසය කළ හැකි වෙනත් ග්‍රහලෝක මෙම විශ්වයේ පවතින බව බෞද්ධ දර්ශනය පිළිගන්නා බවයි. නවීන විද්‍යාව මගින් මෙය තවදුරටත් තහවුරු කරනු ලැබූවත් ඔවුන්ගේ අදහස්  බොහෝමයක් තවමත් උපකල්පනය කරනු ලබන ඒවා පමණක් වේ. ඒ අනුව බුදුන්වහන්සේ මීට වසර 2550කට පෙරදී කිසිදු භෞතික උපකරණයක භාවිතයකින් තොරව මනස දියුණු කිරීමෙන් පමණක් දේශනා කරන ලද මෙම අදහස් අනාගතයේදී විද්‍යා දැනුම මගින් තහවුරුවන්නට බෝහෝදුරට ඉඩ තිබේ.  මේ අනුව බෞද්ධ දර්ශනයේ එන මෙම අදහස් පිටසක්වළ ජීවීන් සම්බන්ධයෙන් අපගේ අනුමානයන් ස්ථාවර කරන්නට සමත්බව දැක්විය හැකිය.

විශ්වය සම්බන්ධවූ මෙම බෞද්ධ විග්‍රහයේ ජීවීන් සම්බන්ධව ප්‍රකාශයන් නිතැතින්ම අඩංගු වේ. බුදු දහමේ එන කාම, රූප හා අරූප යනුවෙන් ජීවී කොට්ඨාශ වර්ගකර දැක්වීමෙන් මේ බව සනාථ වේ. මෙම ජීවී කොට්ඨාශ තවදුරටත් වර්ගකර ඇති අතර ඒ හරහා ජීවී ලෝක 31 පිළිබදව කරුණු ඉදිරිපත්කර තිබේ. මේ අනුව බුදුරජාණන් වහන්සේ තම දර්ශනය මගින් විශ්වය හා පිටසක්වළ සම්බන්ධව යම්කිසි ප්‍රාමාණික ලෙස විග්‍රහයක යෙදී තිබෙන බව මෙම ලිපිය කියවූ ඔබට පසක් වන්නට ඇත.


මෙම ලිපිය සම්බන්ධයෙන් ඔබගේ පක්ෂ විපක්ෂ මතවාද යොමුකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම මෙම ලිපිය ලිවීම සදහා මා පෙළඹවූ කලින් ලිපියට කමෙන්ට් කළ සහෝදරවරුන්ටත් මාගේ ප්‍රණාමය හිමිවේ. එම ලිපිය කියවීමට නොහැකිවූ අයට එය මෙතනින් ගොස් කියවිය හැකිය. තවත් වෙනස්ම වූ ලිපියකින් නැවත හමුවෙමු.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය


2 comments:

  1. නි‍යම‍යි අ‍යි‍යෙ පිටසක්වල ජිවින් ගැන තව ලිපි දාන්න

    ReplyDelete
    Replies
    1. අනිවා ක්‍රිෂාන් මල්ලි.. ඉදිරියටත් ඔයගොල්ලන්ගෙ ඉල්ලීම මත පිටසක්වල ජීවීන් ගැන ලිපි දානවා.. දිගටම අපිත් එක්ක ඉන්න..:D

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger