IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

තම ජාතිකයන් අතින්ම බැටකෑ අහිංසක මුස්ලිම් දැරිය 'මලාලා'

Post by Unknown | at 9:15 PM | 3 Comments | Categories
මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මලලාට අත්වූ ඉරණම
(BBC ඇසුරින් සකස් කළ ලිපියකි)


මලාලා යනු වයස අවුරුදු 14ක් තරම්වන පාකිස්ථානයේ අතිසුන්දර 'ස්වාත්' නිම්නයේ වාසය කළ කුඩා දැරියකි. මේවන විට මලලා එංගලන්තයේ බර්මිංහැම්වල ක්වීන් එලිසබත්රෝහලේ ජීවිතවයත් මරණයත් අතර සටනක නියැළෙමින් සිටින්නීය. මලාලාට මේවගේ ඉරණමක් අත්වූයේ ඇයි? මේ ගැන හැම තොරතුරක්ම දැනගන්න නම් සම්පූර්ණ ලිපියම කියවන්න වෙනවා.

මලාලා නම් චරිතය මුළින්ම ලෝකයට එළිදරව් වන්නේ 2009 වර්ෂයේදී BBC උර්දු සේවය මගිනි. එවකට එකොළොස් හැවිරිදි වියේ පසුවූ ඇය තලේබාන් පාලනය යටතේ වූ ස්වාත් නිම්නයේ භයංකාර ජීවිතය පිළිබදව උර්දු සේවයෙහි සටහන් තැබුවාය. ඒ තුළින් තම අවට කුරිරු පාලනය පිළිබදව ලෝකයාට තොරතුරු එළිදරව් කිරීමට ඇයට හැකිවිය. වරෙක ඈ මෙසේ පැවසුවාය. " මට ඉස්කෝලෙ යන්න බයයි. ගැහැණු ළමුන් පාසල් යාම තහනම් කරලා තලේබානුන් නියෝගයක් පනවලයි තියෙන්නෙ. අපේ පන්තියේ 27 දෙනෙකු සිටියත් දැන් ඉන්නෙ 11යි. තලේබාන් නියෝගය නිසයි ළමයි එන්නෙ නැත්තෙ." ඇය මෙසේ ලියා තැබුවේ 2009 ජනවාරි මස 3 වැනිදාය. ඇය එසේ ලීවද ඉන් අවුරුදු තුනකට පසු සෘජුවම ඇයට මරණ තර්ජන එල්ල විය.


මලාලාගේ පියාවන 'සියාවුද්දීන් යුසෆ්සායි' පෞද්ගලික පාසලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකි. එබැවින් මලලාට හොද අධ්‍යාපනයක් ලැබීමේ වරම් උදාවිය. වයස 11 දී ඉංග්‍රීසි බසින් බ්ලොග් එකක් ලිවීමට යොමුවූ ඈ එය ජාත්‍යන්තරව මහත්සේ ජනප්‍රිය කරගන්නට සමත් විය. ඇය බ්ලොගය තුළ තම අදහස් පලකළේ 'ගුල් මකායි'යන අන්වර්ථ නාමයෙනි. දිගින් දිගටම කාන්තා අධ්‍යාපනයට එරෙහිවන තලෙයිබානුන්ගේ සැහැසිකම්වලට පහර ගසන්නට තරම් මේ පුංචි දැරිය එඩිතර වූවාය. මලලා පවත්වාගෙන ගිය බ්ලොගයට ප්‍රතිචාර වැඩිවත්ම ඇය දිරිමත්වී එහි තවදුරත් අන්තවාදීන්ගේ සැහැසිකම් ලියා තැබුවාය. තලේබානුන්ගේ අන්තවාදයට එරෙහිව හඩනගන මලලා අවසානයේදී අන්තවාදී තුවක්කුවකින්ම මියයනු ඇති බවට අනාවැකි පළවිය. අනාවැකිය සත්‍යයක් බවට පත්විය.

ඉකුත් ඔක්තෝබර් නවවැනි අගහරුවාදා මලලා පාසල් ගොස් පැමිණෙන බස්රථයට ඇතුළුවූ තුවක්කුනරුවෝ මලලා කව්රුන්දැයි සොයමින් පැමිණ ඇගේ හිසටත් උරහිසටත් වෙඩි තැබූහ. මෙයින් බරපතල තුවාල ලැබූ මලලා පාකිස්ථානයේ පෙෂාවෝර්හි හමුදා රෝහලකට ඇතුළත් කරන ලදී. පසුව අසාධ්‍ය තත්වයේ පසුවූ ඇය බර්මිංහැම් ක්වීන් එළිසබත් රෝහල වෙත රාජ්‍ය මැදිහත්වීම් මත ගෙනයන ලදී. ඒ ඔක්තෝබර් 15 වැනිදාය.

                                 ඔක්තෝබර් 20 එළිසබත් රෝහල නිකුත් කළ මුල්ම ඡායාරූපය

කාන්තා අධ්‍යාපන නිදහස වෙනුවෙන් හඩනැගූ මලලාට වෙඩිතැබීමේ නින්දිත ක්‍රියාව මේවනවිට පාකිස්ථානයේ දේශපාලනඥයන්ගේ මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි දෝෂදර්ශනයට ලක්වී හමාරය. මලලා දැරියට දඩුවම් කරන්නට සිදුවූයේ ඇය ෂාරියා නීතියටත් තලේබාන් ව්‍යාපාරයටත් එරෙහිව කෑගැසූ නිසාබව තලෙයිබාන් නිවේදනයක සදහන්වෙයි. "මේක සියළු දෙනාටම පාඩමක්" පාකිස්ථානු තලෙයිබාන් ප්‍රකාශක කියා සිටියේය. මලාලා සුවය ලබතොත් නැවතත් වෙඩි තබන බව ඔහු තවදුරටත් පවසයි. කෙසේ වුවද මලලාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව එළිසබත් රෝහලේ ඇයගේ වෛද්‍යවරයාවන 'ඩේව් රොසර්' ගෙන්ම විමසා බලමු.

"මෙම වෙඩි තැබීමෙන් මලලාගේ හිස්කබලට හා ස්වාසනාලය ආශ්‍රිත ප්‍රදේශයට හානි වෙලා තියෙනවා. ඇයට තාම කතා කරන්න බෑ. හැබැයි ඇයට ලිවීමේ මාධ්‍යෙයන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්" රොසර් කියා සිටියේය. පාකිස්ථානයේදී පැය තුනක ශල්‍යකර්මයකින් ඇයගේ හිසට ඇතුළුවී තිබූ මූනිස්සම් ඉවත් කළද හිස් කබලේ පළුදු වූ ඇතැම් කොටස් නැවතත් ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට එළිසබත් රෝහලේ වෛද්‍යවරුන්ට සිදුවිය. කෙසේ වුවද දැන් දැන් මලලාගේ සෞබ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ක්වීන් එළිසබත් රෝහල් ආරංචිමාර්ග පවසයි. ඔවුන් මෙලෙස පවසන්නේ එයට අදාළවන ලෙස ඡායාරූපද මාධ්‍යවලට නිකුත් කරමිනි. මෙලෙස ප්‍රථම ඡායාරූපය ඔක්තෝබර් 20 වන දින නිකුත් කෙරිණ.


"සනීප වුණාට පස්සෙ එයා ආයෙත් පාසල් යයි." මලලාගේ හිතවතෙකුවන 'හසාල් මවුලා සහිඩ්' පවසයි. ඇයට මුලදී වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුවෙන් සිටියද පසුව මහජන ප්‍රසිද්ධියත් සමග දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් ඇතිවිය.

                              ඔක්තෝබර් 26 නිකුත්කළ ඡායාරූපය (මලාලා පවුලේ පිරිස සමග)

මලලා යුසෆ්සායි කුරිරු වෙඩිපහරකට ලක්වන්නට පෙර දිනයේදී හදවත සලිත කරවන තවත් සිද්ධියක් ඉන්දුනීසියාවෙන් වාර්තා විය. මේ සිද්ධියට ගොදුරු වූයේද මලාලා වැනිම 14 හැවිරිදි දැරියකි. ඉගෙන ගැනීමේ ආසාවෙන් පෙළුණු ඇය ලිංගික සේවනය සදහා දරුවන් පැහැර ගන්නා පිරිසක් අතට පත්විය. ඇය පැහැරගත් කාමාතුරයන් සතියක් මුළුල්ලේ ඇයව දූෂණය කර ඇති අතර ඇයගේ අතුරුදන් වීමේ පුවත රටපුරා ප්‍රචලිත වීමෙන් පසු ඇයව නිදහස් කර තිබුණි. ගැටළුව එය නොවේ. කාමාතුරයන්ගෙන් ගැලවී ගෙදර ආ ඇයට පාසලෙන් විශාල අසාධාරණයක් සිදුවිය. කාමාතුරයන්ගේ ගොදුරක්වූ මේ දැරිය පාසලේ නාමයට කැළලක් බව ඈ ඉගෙනගත් පෞද්ගලික විද්‍යාලයේ බලධාරීහු පැවසූහ. සිසු දරුවන් සියගණක් ඉදිරියේ ඇය නෙරපා දමන බව නිවේදනය කළහ. වරද කාමාතුරයෙකුට බිළිවීමය.

මේ ආකාරයට විශාල අසාධාරණකම් ලෝකයේ සිදුවේ. එයට විරුද්ධව හඩනගන්නන් හට සිදුවන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. මෙය සිදුවන්නේ බොහෝවිට ලෝකයේ එක්තරා ආගමක් හා ජාතියක් පදනම් කරගත් මිනිසුන් අතිනි. එයට හේතුව ඔවුන්ගෙන් කොටසක් දැඩි අන්තවාදීන් වන බැවිනි. මේ සදහා ඔවුන් සියළුදෙනාම වගකිවයුතු නැත. මලාලාටද සිදුවූයේ මෙවන්ම වූ ඛේදවාචකයකි. කෙසේ වුවද මලාලා දැන් පියවි තත්වයට පත්වෙමින් සිටී. අපගේ ප්‍රාර්ථනය වන්නේ මලලාට පෙර පරිදිම පාසල් යාමට අවස්ථාව උදාවන දිනය ඉක්මනින් ළගාවෙන්න කියලයි. ඒ වගේම පෙර පරිදි අන්තවාදයට එරෙහිව ඇගේ පෑන මෙහෙයවන්න ඉක්මනින්ම අවස්ථාව උදාවෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු!

-හෝමෝ ඉරෙක්ටස්

3 comments:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger