IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

නොගිලිහෙන් උඩපන්දු-අවසාන මහා තරගයේදී....

Post by Unknown | at 7:19 AM | 4 Comments | Categories

                           අවසාන මහා තරගය ජය ගැනීමට නම්....

  
ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සහ සමස්ත ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් ජනතාවගේ පැවතියේ එකම පැතුමකි එනම් ලංකාවට 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට හැකිවේවා යන පැතුමයි...ඒත් සමහර ලංකාවේ ජීවත් වෙන පකිස්ථානු මනසක් සහිත ගොන් තක්කඩින්ගේ නම් පැතුම වූයේ මෙහි අනෙක් පැත්තයි.ඔවුන් ලංකාවෙන් කා ලංකාවට පහරන එවුන්ය.උන් ගැන කතා කිරීම මේ ලිපියේ අරමුණ නොවේ.උන්ට දැන් බණින්න අවශ්‍ය නැත.ඊයේ එවැනි ගනයේ පුද්ගලයන් පකිස්ථානයට චියර් කර පැරදුණු පසු ලංකාවේ බත් කාලා අඩ අඩා නිදාගන්න ඇති.මා මෙහිදී කියන්න යන්නේ අපේ කණ්ඩායමට පැවති ගැටළු ගැනයි.

මෙහිදී අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැවති ප්‍රබලතම අභියෝග කිහිපයක් විය.එනම් ඉන්දීය කණ්ඩායම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය 20-20 ලෝක කුසලාන පුහුණු තරග පවතවන කාලයේ සිටම සින්නක්කරව එහි පදිංචි වී ක්‍රීඩා කිරීම නිසා,අපේ එවුන් එම ක්‍රීඩාංගණයේ සති දෙකක පමණ සිට ක්‍රීඩා නොකර තිබීමයි.තවද මෙතෙක් මීට කලින් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වු 20-20 තරගවලදී පැවැත්වු තරග හතරම අපේ එවුන් පරාජයට පත්වී තිබීමත් අපේ කණ්ඩායමට එක්තරා ආකාරයකට අභියෝගයක් විය.ඊට අමතරව පකිස්ථාන කණ්ඩායම සමබර කණ්ඩායමක් වූ අතර ඔවුන් සමග තරග කිරීම පහසු නොවන බව මහේල ඇතුළු අපේ එවුන් හොදින් දැන සිටියේය.




ඇත්තටම මහේල මුලින් කල්පනා කළේ පකිස්ථාන කණ්ඩායම සමග තරග කරන අපේ කණ්ඩායමේ සංයුතිය පිළිබදවයි.පිතිකරුවන් නම් සුපුරුදු පරිදි ඩිල්ෂාන්,මහේල,සංගා,ජීවන්,මැතිව්ස්,තිසර ආදී ලෙස නම් වු අතර ඇතිවු ලොකුම ගැටළුව වූයේ කුමන දග පන්දු යවන්නන් මේ සදහා යොදා ගැනීමට හැකිද යන්නයි.එක් පසෙකින් අකිල ධනංජය සහ අනෙක් පසින් රංගන හේරත් සිටියේය.නමුත් අකිල ධනංජය යනු සහීඩ් අජ්මාල්ගේ පන්දු වලට සමානව පන්දු යවන්නෙකි.පකිස්ථාන පිතිකරුවන් අජ්මාල්ගේ පන්දුවලට පුහුණු සැසි වලදී ඇතිවෙන්නට පුහුණු වී ඇත.එබැවින් පකිස්ථාන පිතිකරුවන් හට අකිල ධනංජයට වඩා රංගන හේරත්ව යොදාගැනීම සුදුසු බව වැටහුණු නිසාදෝ කණ්ඩායම් කළමණාකාරිත්වය සහ ක්‍රීඩකයන් තීරණය කරන ලදි.ඇරත් පකිස්ථාන පිතිකරුවන් වමත් දගපන්දු යවන්නන් හට පසුගිය අවුරුදු ගණනාව පුරාම ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වයි.


මේ විදිහට මෙන්ඩිස්,හේරත්,මාලිංග සහ කුලේ සුසංයෝගය ඇතිව තරගයට පිවිසි අතර කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීමට මහේල තීරණය කළේය.තරගයේ පවර් ප්ලේ පන්දුවාර වල ලංකාව ලබාගත්තේ ලකුණු 34ක් පමණි.ඇත්තටම ඊයේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණනිල්ල තරමක් මන්දගාමී එකකි.මහේල - ඩිල්ෂාන් දෙපළ මුල් පන්දුවාර 10ම කුළු ලබා නොදී ඉතා සුපරික්ෂාකාරී ලෙස ලකුණු 62ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර මහේල ලකුණු 42ක් ලබා සිටියදී දැවී ගියේය.

මේ ආකාරයට කෙසේ හෝ අවසානයේ ලකුණු 139ක් කඩුළු 4කට ලබා ගත්තේ තිසර පෙරේරාගේ හතරේ පහර කිහිපයට පින් සිද්ධ වෙන්නය.ආවසාන පන්දුවාරයේ උමාර් ගුල්ට ලකුණු 14ක් ලබා ගත් නිසා යන්තමින් ජාමේ බේරාගත හැකි ලකුණු ප්‍රමාණයක් තිබුණි.ඒත් ඇත්තටම මේ ලබා ගත් ලකුණු ප්‍රමාණය නම් මදිය.කෙසේ හෝ පකිස්ථාන ඉනිමේදී මෙන්ඩිස් විසින් යැවූ පන්දුවකට ප්‍රහාරාත්මක පිතිකරු ඉම්රාන් නසීර් දැවී ගියේය.


පසුව 10වන පන්දු වාරයේදී නිත්‍ය පන්දු යවන්නෙක්  නොවන මැතිව්ස් විසින් ජම්ෂෙඩ් සහ කම්රාන් අක්මාල් දවාගත් නිසාම අපේ එවුන් ආයෙත් ගේමට එන්ටර් විය.නමුත් 12 වන පන්දු වාරයේදී මාලිංග විසින් මොහමඩ් හෆීස්ගේ උඩපන්දුවක් අත්හැරිය විට මට නම් හිතුනේ අද මැච් එකට බඩු හරි කියාය.මොකද හෆීස් යනු තරගයක් අවසානය දක්වා ගෙන යා හැකි පිතිකරුවෙකු බැවිනි.මාලිංග තරගයේ මුල සිටම දුර්වල පන්දු රැකීමක නිරත විය.ඒ වෙලාවේ නම් ලංකාවේ ඔක්කොම වගේ මාලිංගට බැන්න එක නම් ඇත්තය.එහෙත් වාසනාවකට රංගන හේරත් විසින් අවසානයේ හෆීස් දවාගත්තේය.හේරත් කඩුළු 3ක් දවා ගනිමින් මහේලගේ තේරීම නිවැරදි බව පෙන්වා දුන්නේය.

ඇත්තටම මාලිංග කැච් මිස් කරාට ඔහු හොදින් ඊයේ පන්දු යැවීය. පන්දු වාර 4ට ඔහු ලබා දුන්නේ ලකුණූ 15ක් පමණි.ඕනෑම කෙනෙක්ටකරන දිනයක් සමහර විට එන්න පුළුවන් එදාට සාමාන්‍ය දිනවලට වඩා වැඩියෙන් අතපසු වීම් සිදුවෙයි.ඊයේ මාලිංගට සිදු වූයේ එයයි.ඒ හැරුණු විට ඔහු සුපිරි පන්දු යැවීමක නිරත වීමට ඊයේ සමත් විය.නමුත් මීලගට එන අවසාන මහා තරගයේදී නම් මෙවැනි අඩු පාඩු සිදු නොකළ වුතුය.එසේ වුවහොත් 2011 ලෝක කුසලානයේ ගාම්බීර්ගේ කැච් එක වගේ තවත් ඉතිහාසගත වැරැද්දක් නිර්මාණය විය හැකිය.ඊයේ නම් පෙර පිනකට මාලිංග මිස් කරපු කැච් එක ඉතිහාසගත නොවීය.ඒ ගැන අපි සතුටු විය යුතුය.


අවසාන මහා තරගයට ශ්‍රී ලංකාව සමග තරග කරන්නේ ඕස්ට්‍රේලියාවද එහෙමත් නැත්තම් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැයි අපි තවම නොදනී.එය තීරණය වන්නේ අද පැවැත්වෙන තරගයෙනි.ඊයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී මහේල ගෙන් මේක ඇහුවාම ඔහු පැවසුයේ කුමන කණ්ඩායම පැමිණියත් තමන් ඇතුළු කණ්ඩායම ඒ සදහා සුදානම් බවයි.ඒ වගේම පකිස්ථාන නායක මොහොමඩ් හෆීස් එහිදී පැවසූයේ තම කණ්ඩායම හොදින් ක්‍රීඩා කළ අතර ඊට වඩා හොදින් ලංකාව ක්‍රීඩා කළ නිසා ලංකාව තරගය ජයග්‍රහණය කළ බවයි.නැතුව අර ඔළුව ඉදිමුණු සමහර නායකයන් මෙන් අව්ව , වැස්ස  ගැන කියමින් කාලගුණ වාර්තා ඔහු ඉදිරිපත් කළේ නැත.


ඕස්ට්‍රේලියා කණ්ඩායම ගැන කතා කරනවා නම් ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා ජෝන් බේලිය.ඔහු තවමත් නවක නායකයෙකි.නමුත් ඔහු ගැන අවතක්සේරු කිරීම නරකය.මොකද මහා ලොකු,ලෝක ශූර ඉන්දියානු කණ්ඩායමට එලව එලවා පහර දුන්නේද,ලෝකයේ 20-20 අංක එකේ ශ්‍රේණිගත කිරීම්වල මීට පෙර රැදී සිටි(දැන් නම් අංක එකට ඉන්නේ අපේ එවුන්ය) දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කළේද ඔහුගේ නායකත්වය යටතේය.නමුත් ඔවුන්ගේ ලොකුම දුර්වලතාවය වන්නේ වොට්සන්,හසී,වෝනර්,වයිට් වැනි පිතිකරුවන් හැරුණු විට අනික් පිතිකරුවන්  අත්දැකීම් අඩු වීමයි.අනික ඔවුන් ජයග්‍රහණය කර ඇති තරග 4ක්ම ෂේන් වොට්සන් වන් මෑන් ෂෝ සෙල්ලම් කරපු තරගය.ඔවුන්ගේ නවක පිතිකරුවන්ට තවමත් හරියට පන්දුවට පහර දීමට මේ තරගාවලිය පුරාවටම හැකි වී නැත.එබැවින් ඔවුන්ගේ පිතිකරණය, පන්දු යැවීම තනි පුද්ගලයෙකු මත රදා පවතියි.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගැන කතා කරනවිට ඔවුන්ගේ ප්‍රබලපිතිකරුලැයිස්තුවක්පවතී.ගේල්,රිචඩ්,පොලාඩ්,සැමී,බ්‍රාවෝ,සැමුවෙල්ස්,රාම්දින්,නරිනී ඇතුළු මේ සියල්ලන් හට වේගයෙන් පන්දුවට පහර දිය හැකිය.නමුත් මෙතන වැදගත්ම පුද්ගලයා අපි හැමෝම දන්න ක්‍රිස් ගේල්ය.ඔහුව හැකිතාක් ඉක්මණින් දවා ගත්තොත් එය ලොකු වාසියකි.අනිත් අතින් පන්දු යැවීමේදී නම් ඔවුන්ට ලංකාවේ තරම් හොද පන්දු යවන බල ඇණීයක් නැත.සුනිල් නරීන්(මෙවර අයි.සී.සී. හොදම නැගී එන ක්‍රීඩකයා) සහ රාම්පෝල් ඔවුනගේ හාදම පන්දු යවන්නන්ය.විශේෂයෙන් සුනිල් නරීන්ට කඩුළු නොදී ක්‍රීඩා කිරීම වැදගත්ය.


1996 ලෝක කුසලාන තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ලංකාව මේ වනතෙක් තවමත් කිසිදු ලොක කුසලාන තරගයක්(ඕවර 50 හෝ 20-20) තරගයක් ජයගෙන නැත.2003 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයටද,2007 අවසන් මහා තරගයටද,2009 20-20 ලොක ක්‍රසලානයේ හා 2011 ඕවර් 50 අවසාන මහා තරගය දක්වා පැමිණියද ලෝක කුසලාන තරගයක් 96න් පසු ජයග්‍රහණය කර නැත.


එබැවින් අවසානයේ පැවසීමට ඇත්තේ මේ ඕසට්‍රේලියා හෝ බ.ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම අවසාන මහා තරගයට පැමිණියත් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිති.රබැවින් මෙවර 20-20 ලෝක කුසලානය කිසිදු අතපසු වීමකින් තොරව ජයග්‍රහණය කළ හැකිවේවා යි ප්‍රාර්ථනා කරමු!ශ්‍රී ලංකාවට ජය වේවා!




(ඔබ කියවු මෙම ලිපිය ප්‍රථමයෙන් මා විසින් සිරසි වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර මෙම ලිපියේම අනුකරණයක් වෙනත් වෙබ් අඩවිවල ප්‍රචාරය වී ඇත්නම් එහි අඩුපාඩු ගැන වග කියනු නොලැබේ)

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

4 comments:

  1. එල එල ලංකාවට ජය ශ්‍රී.ආයේ මාලින්ගට එහෙම වෙන එකක් නෑ.මරු ලිපිය.

    ReplyDelete
  2. මේ ලිපිය ගොඩක් fb page වල එහෙමත් දැන් ප්‍රචාරය වෙනවා. එවිට කතෘගේ අයිතිය සුරකින ලෙස ඉල්ලා සිටිනවා වගේම උපුටාගත් මෙම අඩවියේ link එකද එහි පළ කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද මේවගේ දීර්ඝ ලිපියක් උදේ පාන්දර යතුරුලියනය කරන එක පහසු වැඩක් නෙමෙයි. ඒක copy paste කරලා දාන එක හරිම ලේසියි. ඒනිසා අපේ අඩවියේ ලින්ක් එකත් දෙන්න.

    ReplyDelete
  3. blog ekat horakan karana un inne lankawe.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger